Sunday, June 24, 2012

ඩෙංගු වනසන්නට බී. ටී. අයි. බැක්‌ටීරියාවටත් වඩා ප්‍රබල අපේ බැක්‌ටීරියාවට තැනක්‌ දෙන්නේ නෑ

බී. ටී. අයි. බැක්‌ටීරියාවටත් වඩා ප්‍රබල ඩෙංගු මදුරු නාශක බැක්‌ටීරියාවක්‌ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති නමුත්, සෞඛ්‍ය බලධාරීන් ඒවා භාවිත කිරීම හිතා මතා මගහරින බවට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

එම බැක්‌ටීරියාව බයෝ බවර් ලංකා සමාගම විසින් මීට වසර තුනකට පෙර නිෂ්පාදනය කර ඇති බවත්, 2010 වසරේදී සෞඛ්‍ය අමාත්‍යංශය එයින් ලීටර් 624 ක්‌ මිලදී ගත් නමුත්, එය මදුරු මර්දනය සඳහා නොයෙදවූ බවත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මෙම බැක්‌ටීරියාව සම්බන්ධයෙන් සිදු කළ ක්‍ෂේත්‍ර පරීක්‍ෂණවලදී හෙළිදරව්වී ඇත්තේ එය බී. ටී. අයි. බැක්‌ටිරියාවටත් වඩා සාර්ථකව මදුරු මර්දනය සිදු කරන බව සහ එය සාර්ථක නිෂ්පාදනයක්‌ බව යෑයි ඒ මහතා කීවේය.


මෙම බැක්‌ටීරියාව සඳහා ස්‌ථීර ලියාපදිංචියක්‌ පලිබෝධ නාශක කාර්යාංශය මගින් ඉල්ලා සිටි අවස්‌ථාවේ ඊට ලබා දී ඇත්තේ තාවකාලික ලියාපදිංචියක්‌ බවත්, එය අලෙවි කිරීමේ අයිතිය ලබාදී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක්‌ බවත් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.


බී. ටී. අයි. බැක්‌ටීරියාව 2009 වසරේදී කියුබාවෙන් මෙරටට ගෙන්වීම සඳහා ලීටර් 10000 කට රුපියල් කෝටි 3 ක්‌ රජය වැය කළ බවත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බැක්‌ටීරියාව එම ප්‍රමාණයම මිලදී ගැනීම සඳහා එම මුදලින් අඩක්‌ තරම්වත් වැය නොවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.


ඩෙංගු වසංගතයක්‌ බවට පත්ව ඇති මේ අස්‌ථාවේදීවත් පුද්ගලික ප්‍රතිලාභ සීමා කොට මෙම බිහිසුණු වසංගතය මර්දනය කිරීමට ක්‍රියා කරන ලෙස තම සංවිධානය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම පැවසීය.


මෙම වසරේ පළමු මාස හයේදී ඩෙංගු රෝගීන් 75 දෙනෙකු මියගොස්‌ ඇති බවත්, රෝගය වැළඳුණු සංඛ්‍යාව 12336 ක්‌ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.


මෙය පසුගිය වසරට සාපේක්‍ෂව අති විශාල වැඩිවීමක්‌ බවද පැවසූ ඒ මහතා වැඩිම සෞඛ්‍ය පහසුකම් ඇති බස්‌නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තාවීමෙන් ඩෙංගු මර්දන වැඩපිළිවෙළෙහි අසාර්ථක බව තහවුරු වන බවද සඳහන් කළේය.


මේ දිනවල පවතින කඩින් කඩ වැසි හේතුවෙන් ඉදිරි දිනවලදී තවදුරටත් ඩෙංගු වසංගතය පැතිර යනු ඇතැයි ඒ මහතා අවධාරණය කළේය.

2 comments:

  1. ma swkya maha ballanta henagahanna one.

    ReplyDelete
  2. PITA RATIN GENENA KOTA COMMIS GAHANATA PULUWAN. MONA BACTERIAVEN HO DENGU NETHUWUNOTH MINISUNTA DADA GAHANA ANDUWE ADAYAMA NETHIWENAWA.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්