Sunday, March 4, 2012

විහිදෙන්නේ බුදු රැස්‌ද?


විද්‍යා අධ්‍යාපනය ලබන බහුතරයක්‌ සිටින සහ සෙසු ජනතාව ද විද්‍යා හා තාක්‌ෂණ අධ්‍යාපනය වෙත තල්ලු කරන අධ්‍යාපන ක්‍රමයක්‌ වඩාත් සුදුසු යෑයි උගතුන් සහ විද්වතුන් සංවාද කරන මේ අජටාකාශ යුගයේ සාමාන්‍ය ජනමාධ්‍යවල දක්‌නට ලැබෙන ගතානුගතික ලක්‌ෂණ කාලීන ලෙස වර්ධනය විය යුතු යෑයි පාඨකයා බලාපොරොත්තු වේ. යහපත් ජනමාධ්‍යයක ජනතා සේවය එසේ විය යුතු ය. අපට කියවන්නට ලැබෙන ජාතික පුවත්පත් රැසක්‌ මාතෘකා කිහිපයක්‌ ම ඔස්‌සේ අප වෙත ගෙන එන ලිපිවලින් ජනතාව ගේ විද්‍යා අවබෝධය මොට කිරීමක්‌ සිදු වන බව පැහැදිලිව පෙනේ. බුදුරැස්‌ විහිදෙන කතාන්දර ද මේ අතරට වැටෙන මාතෘකාවකි.

ඕනෑ ම භෞතික වස්‌තුවක්‌ හෝ ස්‌කන්ධයක්‌ මඟින් රශ්මියක්‌, රැස්‌ වළල්ලක්‌ හෝ තාප කිරණ නිකුත් කරන බව පාදක කොට ගෙන ගසකින් ප්‍රතිමාවකින් හෝ දාගැබකින් බුදුන් ගේ රැස්‌ හෝ බුදුරැස්‌ පිට වන්නේ යෑයි පැවසීම විහිළුවකි. ළාබාල වැඩකි, මෝඩකමකි. ඒ ඒ වස්‌තුවලට ආවේනිකව, එහි උණුසුමට සරිලන තීව්‍රතාවකින් තාප කිරණ නිකුත් කිරීම සිදුවන්නේ ය. මෙය ජීව අජීව සැම ස්‌කන්ධයක්‌ සඳහා ම පොදු විද්‍යාත්මක සත්‍යයකි. ගසකින් හෝ ගල් ගොඩකින් බුදුන් ගේ රැස්‌ විහිදෙනවා යයි තීරණය කරන්නෝ මේ සත්‍යය ගැන කිසි ම අවබෝධයක්‌ නැත්තෝ ය. විදුසර පාඨකයන් ද එම අදහස ම අවබෝධ කරගත හොත් එහි ප්‍රතිඵලය ඉතා අභාග්‍යයක්‌ වනු ඇත. පාසලේ දී නවීන විද්‍යාව ඉගෙන ගන්නා දූ පුතුන්ට නම් මේ ව්‍යාජ බුදුරැස්‌ විහිදීම විහිළුවකි.


නිරපේක්‌ෂ උෂ්ණත්වය ශුන්‍යය හෙවත් බිංදුවට වැඩි වන තරමට උණුසුම් වන සජීවී/අජීවී වස්‌තූන් තාප කිරණ (විද්යුත් චුම්බක තරංග) නිරතුරු ව ම විමෝචනය කරන බව ස්‌ටෙෆාන් සහ බෝල්ට්‌ස්‌මාන් (Stefan and Boltzmann) විසින් පෙන්වා දෙනු ලැබුවා පමණක්‌ නො ව, ඒ හා සම්බන්ධ වන සමීකරණ පවා හඳුන්වා දෙන ලද්දේ මීට ශතවර්ෂ ගණනාවකට පෙර ය. මෙය ස්‌ටෙෆාන් බෝල්ට්‌ස්‌මාන් නියමය (Stefan-Boltzmann law) ලෙස අද අ.පො.ස. උසස්‌ පෙළ සිට ම භෞතික විද්‍යාවේ දී ඉගෙන ගන්නා භෞතික න්‍යායකි.


කෘෂ්ණ වස්‌තුවක (Black body) ඒකීය වර්ගඵලයක්‌ හරහා නිකුත් වන ශක්‌තිය, J, එහි උෂ්ණත්වයේ (නිරපේක්‌ෂ උෂ්ණත්වයේ) T, සතර වැනි බලයට අනුලෝම ලෙස සමානුපාත වන බව ස්‌ටෙෆාන් බෝල්ට්‌ස්‌මාන් නියමයෙන් කියෑවේ. එය J = aT
4 සමීකරණයෙන් දැක්‌වේ. මෙහි a, ස්‌ටෙෆාන් බෝල්ට්‌ස්‌මාන් නියතය වේ.

එපමණක්‌ නො ව, ස්‌ටෙෆාන් බෝල්ට්‌ස්‌මාන් නියමයට අනුව නිකුත් වන කිරණ හෝ රශ්මි වළලුවල තරංග ආයාමය λ එම වස්‌තුවේ උෂ්ණත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වන බව වීන් (Wien) නම් විද්‍යාඥයා පෙන්වා දී ඇත. මේ සියලු දේවල සත්‍ය අසත්‍යතාව ප්‍රායෝගික ලෙස ඕනෑ ම කෙනකුට පරීක්‌ෂා කළ හැකි ය. වීන් පෙන්වා දුන් නියමය λ = b/T සමීකරණයෙන් දැක්‌වේ. මෙහි b වීන් නියතය (Wien's displacement constant) වේ.


උෂ්ණත්වයට අනුව වස්‌තුවකින් නිකුත් වන කිරණ ග්‍රහණය කිරීමට හැකි උපකරණයක්‌ මඟින් එය නිරීක්‌ෂණය කිරීම පහසු දෙයක්‌ වුව ද මිනිස්‌ ඇසට ග්‍රහණය කළ හැකි වන්නේ දෘෂ්‍ය වර්ණාවලිය තුළ අඩංගු වන මයික්‍රෝ මීටර් 0.40 (දම් පාට) සිට 0.70 (රතු පාට) දක්‌වා වන තරංග ආයාමයක්‌ පමණි. එම වර්ණාවලියෙන් බැහැර වූ විද්යුත් චුම්බක තරංග නිරීක්‍ෂණය කිරීමේ හැකියාව සහිත මිනිසුන් අතීතයේ සිටියා නම් පමණක්‌ ඔවුනට විවිධ වස්‌තුවලින් හෝ සමහර මිනිස්‌ සිරුරුවලින් නිකුත් වූ රශ්මි දැකගත හැකි වන්නට ඉඩ තිබිණි. එසේ නොමැති ව ශරීර


රැස්‌ දුටුවා යෑයි පවසන්නෝ මන(කල්පිත ව මවා ගත් දෙයක්‌ පවසති. එසේ නැත හොත් ඔවුහු මානසික රෝගයකින් පෙළෙන්නෝ වන්නෝ ය.


වර්ණ ග්‍රහණය කිරීමේ මිනිස්‌ ඇසේ හැකියාව මෙන්ම ප්‍රතිබිම්බ රඳා ගැනීමේ හැකියාව ගැන කරුණු බොහොමයක්‌ මේ වන විට විද්‍යා ලොවට රහස්‌ නො වේ. අපේ ඇසට දෘෂ්‍යමාන වන තරංග ආයාම පරාසය මයික්‍රෝමීටර් 0.40-0.70 වන බව එක්‌ වැදගත් සාධකයකි.


අප ඇසේ දෘෂ්ටි විතානායේ සෑදෙන ප්‍රතිබිම්බ මනසින් හඳුනාගෙන මතකයේ රඳා ගැනීමට තත්පරයකින් දහයෙන් පංගුවක තරම් කාලයක්‌ ගත වේ. ඇසේ ප්‍රතිබිම්බ රඳා ගැනීමේ එම කාර්යක්‌ෂමතාව නිසා තත්පර දහයෙන් පංගුවක (1/10) කාලයක්‌ තුළ සෑදෙන ප්‍රතිබිම්බ දෙකක්‌ වෙන් කර හඳුනා ගැනීමට මිනිසුන්ට අපහසු ය. තව ද අපේ ඇසේ දෘෂ්ටි විතානය කරා එක මොහොතක ළඟා වන ආලෝක කිරණ ප්‍රමාණය අති විශාල ය. ආලෝක කදම්බ ඇස වෙත ගමන් කරන දුර ප්‍රමාණය තුළ එම කදම්බ මුහුණ පාන, පරාවර්තනය, වර්තනය, ප්‍රකිරණය, පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ආදී, විවිධ ක්‍රියාකාරකම් නිසා එක ම ආලෝකවත් වස්‌තුවක සිට විවිධ දිසා ඔස්‌සේ කදම්බ ළඟා වීමෙන් එක ම ප්‍රභවය ස්‌ථාන කිහිපයක පිහිටා ඇත්තා සේ පෙනේ. තව ද ඇසේ (සත්‍ය වශයෙන් ම ඇසේ කාචයේ) ඉතා අල්ප චලනයක දී වුව ද ආලෝකවත් වස්‌තුවක සිට ළඟා වන කිරණ රාශියක්‌ විවිධ දිසාවලින් ඇසේ නාභිගත විය හැකි ය. මෙවන් කරුණුවල බලපෑම නිසා අපට යමක්‌ දෘෂ්‍යමාන වීම ඉතා සංකීර්ණ ලෙස සිදු වන දෙයකි. ඒ සංකීර්ණත්වය නිසා අපට වටහා ගත නොහැකි තරම් සංකීර්ණ දර්ශන අප අවට පරිසරයේ දිස්‌ වේ. මේ සංකීර්ණත්වයට හේතු නො දන්නා අයකුට එවන් දර්ශන එක්‌කෝ ආශ්චර්යවත් දේවල් විය හැකි ය. නැතිනම් නො දන්නා බලවේගයක නිර්මාණ විය හැකි ය.


භෞතික විද්‍යාවේ දී මෙවන් දර්ශන දෘෂ්ටි මායාවන් (Optical Illusions) ලෙස නම් කෙරේ. රූපවාහිනි රූප රාමුවක වම් පසට ගමන් කරන රථවාහනයක රෝද දකුණු දෙසට කරකැවෙන්නා සේ දිස්‌ වීම, මීදුම හෝ පින්න සහිත වාතාවරණයක අහසේ විවිධ රූප සහ ආලෝකවත් ලප දිස්‌ වීම, ක්‌ෂිතිජයෙන් නැඟ එන හිරු සෙලවෙන්නා සේ දිස්‌ වීම, විවිධ වර්ණයන් ගෙන් සමන්විත රූප රාමුවක සමහර වර්ණ පෙන්වන මායිමේ තවත් වර්ණයක්‌ රංගනවල යෙදීම ආදිය මෙයට උදාහරණයි. වර්ණ වෙන් වන මායිමේ තවත් වර්ණයන් රංගනවල යෙදීම වර්ණවත් බිත්තිවල හෝ ප්‍රතිමාවල පැහැදිලිව පියවි ඇසට දැකගත හැකි වීම දෘෂ්ටි මායාවක්‌ මිස ආශ්චර්යයක්‌ නම් නො වේ. මෙවන් වර්ණ රංගනයක්‌ බුද්ධ ප්‍රතිමාවක දක්‌නට ලැබුණ විට එය බුදුරැස්‌ ලෙසට හඬ නඟන්නේ මේ පිළිබඳ යථාර්ථය නොදන්නාකම නිසා ම ය. අභයසිංහ වන මා ගේ ප්‍රතිමාවක්‌ විවිධ වර්ණයෙන් සායම් කොට මට "අභයසිංහ රැස්‌" දැකගත හැකි ය. ඔබ ගේ මේ ආකාරයේ රූප රාමුවකින් ද මෙලෙස රැස්‌ විහිදෙන බව ඔබට නිවසේ දී ම වුව දැක බලාගත හැකි ය.


විවිධ ස්‌ථාන හෝ වස්‌තුවලින් නිකුත් වන රශ්මි වළලු පිළිබඳව විද්‍යාඥයන්ට කිසි ම රහසක්‌ හෝ ආශ්චර්යයක්‌ නැත. මෙතෙක්‌ ලොව ලබා සිටින විද්‍යා දැනුම සහ න්‍යායන් මේ රැස්‌ පහදා දීමට ඕනෑ තරම් සෑහේ. එම යථාර්ථය නො දන්නා අයට වස්‌තුවකින් නිකුත් වන ඕනෑ ම ආලෝක කිරණයක්‌


"රැස්‌" වන්නේ ය. බෞද්ධාගමට සම්බන්ධකම් ඇති ගසකින් හෝ ගොඩනැඟිල්ලකින් එම


"රැස්‌" නිකුත් වේ නම් එය බුදුරැස්‌ ම බවට යථාවබෝධය නොමැති බාලයක්‌ වටහා ගැනීම ගැන පුදුම විය යුතු නැත. මෙවන් සිදුවීම් පිළිබඳව විද්‍යාත්මක කරුණු පහදා දෙන ලිපි ලේඛන බහුබූත ලෙස හෝ මිථ්‍යාදෘෂ්ටික අදහස්‌ ලෙස හංවඩු ගැසීමට සමහර බෞද්ධාගමික බලවතුන් පවා ජනමාධ්‍යවල පිටු බදු ගැනීම අප දූ දරුවන්ට කරන අපරාධයකි. එවන් ළාබාල නූගත් ක්‍රියාකලාප නිසා යථාර්ථය සොයා යන අයට සිදු වන බුද්ධි හානිය අපමණ ය.


බුද්ධ ප්‍රතිමාවලින් හෝ බෝ ගස්‌වලින් පිට වන රැස්‌ පමණක්‌ නො ව, උස්‌ කඳුමුදුන්වලට උදා කාලයේ දර්ශනය වන සූර්ය චලනය, දේදුන්න, හිරු සහ සඳ වටා ආලෝක වළලු සහ මිරිඟුව යන සංසිද්ධි පවා ආශ්චර්යවත් සිදුවීම් ලෙස බාර ගැනීමට විද්‍යා දැනුම නැත්තන් සහ අන්ධ භක්‌තිකයන් සැදී පැහැදී සිටීම ඉතා කණගාටුදායක ය. එවන් අය ගේ දෑස්‌ පෑදීමට යථාර්ථවාදී අදහස්‌ පාඨකයා වෙත ගෙන ඒම මේ අජටාකාශ යුගයේ ජනමාධ්‍යවල විශාල ජනහිතකාමී මෙහෙවරක්‌ යෑයි සිතමි.


බුදුරැස්‌ දැනීමට නම් මානසික නිද්‍රාවක්‌ අවශ්‍ය බවත් ඇස වසා සිටියත් එය පෙනෙන බවත් සමහර පණ්‌ඩිත ලිපිවල සඳහන් වේ. මෙයින් ඉතා පැහැදිලි වන ප්‍රධාන කරුණක්‌ නම් මේ බුදුරැස්‌ දුටුවා යෑයි හෝ දකින්නට තරම් පිංවන්තයන් යෑයි පවසන අය ඇසින් දුටු කිසි ම රැස්‌ වළල්ලක්‌ නොමැති බව ය. ඔවුන් මනසේ මවා ගත් රැස්‌ ගැන දොඩවන්නන් ය. තමන් ගේ ආධ්‍යාත්මික අගය ලොවට කියාපෑමේ උත්සාහයක්‌ ලෙස තමන්ට බුදුරැස්‌ පෙනෙනවා යෑයි පවසන්නන් ද නැතිවා නො වේ. ඇස්‌ වසාගෙන රැස්‌ වළලු පමණක්‌ නො ව දෙව්ලොව දිව්‍යාංගනාවන් හෝ අපාය හෝ තමන් ආසා කරන ඕනෑ ම රුවක්‌, දසුනක්‌ මනෝලෝකයේ මවාගෙන දැක ගත හැකි බව කාටත් රහසක්‌ නො වේ.


නිර්මල බුදුදහම ආරක්‌ෂා කරන බව අප ම ලෝකයට පරකාස කරමින් අප ම එම දහමට නිගා කිරීම කෙසේ වත් අනුමත කළ හැකි දෙයක්‌ නො වන බව සැබෑ බෞද්ධයන් බහුතරයක ගේ මතය වන බව මට විශ්වාස ය. ලොව ඕනෑ ම තැනක වසන ඕනෑ ම කෙනකුට සාධාරණ ලෙස පිළිපැදිය හැකි දර්ශනයක්‌ වන බුදුදහම බැලූ බැල්මට සරල වුව ද එය ගැඹුරු ය.


ගිහි පැවිදි අපේ බෞද්ධයන් ළාබාල අබොෘද්ධ පිළිවෙත්වල යෙදීමේ අවස්‌ථාවන් කිහිපයකින් එකක්‌ විටින් විට ජනමාධ්‍ය ඔස්‌සේ බුදුරැස්‌ විහිදීම ලෙස ප්‍රසිද්ධ වේ. මෙහි උච්චතම අවස්‌ථාව වූයේ 2006 අගෝස්‌තු 1-2 දිනවල මුළු දිවයින පුරා ම පාහේ බුදු පිළිම අසලට රැස්‌ වී රැස්‌ විහිදෙනු බලමින් අප ජනතාව ලොව ම හිනැස්‌වීමයි. මේ ළාබාල, අබෞද්ධ, අවිද්‍යාත්මක ප්‍රචාරයන්ට බොහෝ සංඝයා වහන්සේලා පවා ප්‍රධානත්වය දෙන බව ජනමාධ්‍ය තුළින් පෙනේ. තවත් උගතුන් සහ බුද්ධිමතුන් හිනස්‌වන සිදුවීම් වන්නේ සෝමාවතී වෛත්‍යය අවට රැස්‌ විහිදීම සහ චෛත්‍ය ගැබ තුළ සිට පෙරහැර පිටත් වීමයි. මෙවන් බහුබූත දර්ශන පෙනෙනවා යෑයි පවසන අය කිනම් හෝ මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන බව නම් ප්‍රත්‍යක්‌ෂ ය. නිර්මල බුදුදහම ජනතාවට පහදා නො දී, බහුබූත කතා මඟින් බුදුදහම හාස්‌කම්වලින් පිරී ඇත්තේ යෑයි ප්‍රලාප සහ මුසාවාද දෙසාබාන අය ගෙන් බුදුදහමට වන සෙතක්‌ ඇත් ද? ඔවුහු ලොව උගත් ජනයාට විහිළු සපයන්නෝ ය.


දෘෂ්ටි මායා (Optical Illusions) භෞතික විද්‍යා විෂය ධාරාවේ අඩංගු වන කොටසක්‌ වන අතර එම විෂය හදාරන්නෝ එක්‌ එක්‌ අවස්‌ථාවල එන න්‍යායන් උපයෝගී කොටගෙන ආලෝක ධාරා සම්බන්ධ සංසිද්ධීන් හදාරති. විස්‌තර කරති. මෙය අද ඊයේ නො ව අනාදිමත් කාලයක සිට සිදු වූ සහ සිදු වන සාමාන්‍ය දෙයකි. එනිසා තැන තැන දුවමින් අන්ධ රැලක්‌ බුදුරැස්‌ නැරඹුවාට එහි යථාර්ථය දන්නා බුද්ධිමතුන් සහ යථාර්ථවාදීන්ට එය මදුරුවකු දෂ්ට කළ තරම් වත් විශේෂ දෙයක්‌ නො වේ. ඔවුහු එය එදා අද මෙන් හෙටත් වෙනසක්‌ නොමැති ව දකිති. එවන් සාමාන්‍ය සිදුවීමක්‌ ගැන දිනපතා ප්‍රකාශන නිකුත් කිරීමක්‌ විදුධරයන් අතින් සිදුවීමක්‌ බලාපොරොත්තු වන්නට තරම් ජනතාව අවිද්‍යාත්මක නො වේ යයි සිතමි. විවිධ වර්ණ සංකලනයන්වල බලපෑම්වල ප්‍රතිඵල ලෙස අහස්‌ තලයේ නොයෙක්‌ වර්ණ රටාවන් (Coloured sky), උස්‌ කඳු මුදුන්වලට උදා කාලයේ දර්ශනය වන සූර්ය චනලය (Fluctuation of solar images)ල දේදුන්න (Rainbow) හිරු සහ සඳ වටා ආලෝක වළලු (Aurora/Halo) සහ මිරිඟුව (Mirage) ආදිය ඇති වන්නේ කෙසේ ද යන්න භෞතික විද්‍යාව හදාරන අයට විස්‌තර කළ හැකි ය. එම යථාර්ථය නො දන්නා ජනයා මෙන්ම සංඝයා වහන්සේලා මේ සිදුවීම් ආශ්චර්යයන් සේ සිතා නොයෙක්‌ නො දන්නා බලවේග ඒ හා සම්බන්ධ කොට ජනතාව නොමඟ යෑවීම පාපකර්මයක්‌ ද වන්නේ ය.


බොහෝ සංඝයා වහන්සේලා සහ සමහර ආචාර්ය මහාචාර්යවරු අධ්‍යාපන ආයතනවල දී හදාරා ඇත්තේ බෞද්ධ සාහිත්‍යය, ආගම, ඉතිහාසය, පාලි සහ වෙනත් භාෂා ආදී විෂයයන් පමණි. මේ නිසා පරිසරයේ සිදු වන දේ යථා අයුරින් වටහා ගැනීමේ හැකියාවක්‌ ඔවුනට නැත. තම තමන් සත්‍ය යෑයි අදහන සංකල්ප හිස්‌ මත තබාගෙන ඔවුහු ජනතාව නොමඟ යවති. විද්‍යා අධ්‍යාපනය ලැබුව ද භෞතිකවිද්‍යාව විෂයය හදාරා නැති නම් ස්‌වාභාවික සංසිද්ධිවලට පසුබිම් වන සාධක ගැන අවබෝධයක්‌ ලබා ගැනීම ඉතා අසීරු ය. මේ හේතුව නිසා ම විදුධරයන් බොහොමයක්‌ ද විචාරයෙන් තොර අන්ධ භක්‌තිකයන් ලෙස හැසිරීම විද්‍යාවබෝධය ව්‍යාප්ත කිරීමේ දී මුහුණපාන්නට තිබෙන එක්‌ ගැටලුවකි.


ගතානුගතික විශ්වාසයන් කර පින්නාගෙන ඒ විශ්වාසය අන්ධ භක්‌තිකයන් ගේ ඔලුගෙඩිවලට පුනපුනා දමමින් ඔවුන් ද මෝඩයන් කරමින් තම බඩ වියත රැක ගැනීම සමහරකු ගේ එක ම පරමාර්ථය වේ. බෞද්ධ ජනයා සත්‍ය බුදුදහම අවබෝධ කරගැනීමේ රිසින් සිටී නම් ඔවුන් මේ ළාබාල මෝඩ අදහස්‌ පිළිකුළෙන් යුතු ව හෙළාදකිනු ඇත.


කේ. ආර්. අභයසිංහ-විදුසර පුවත්පත

5 comments:

  1. මහත්මයා..
    මුලින්ම කියන්න ඔනී විද්‍යාව කියන්නේ නොවෙනස් වෙන දෙයක් වෙන්න ඕනි. ඒක කාලයත් සමග වෙනස් වෙන වා නම් එය විද්‍යාවක් නොව අවිද්‍යාවකි.

    අප දැන් විද්‍යාව කියලා ඉගෙන ගන්නේ අවිද්‍යාවයි. සුද්දෝ විසින් හොයාගත් එක එක සිද්ධාන්ත මත පදනම් වූ දේවල් තමයි අප දැන් විද්‍යාව කියලා ඉගෙන ගන්නේ.එවා කාලයත් එක්ක වෙනස් වෙනවා..හොදම උදාහරනේ අයිස්ටයින් කියපු "ආලොකේ වේගයට වඩා වේගයෙන් ගමන් කල නොහැකි " ප්‍රකාශය දැන් බොරු වී තිබෙනවා..ඔබත් එය දන්නචා ඇති මට වඩා හොදින්.
    මේ ලොකේ විද්‍යාව හෙලිකලේ අපගේ බුදු පියානන් වහන්සේය..එය කිසිම දවසක වෙනස් නොවන දෙයකි..ඒකටයි විද්‍යාව කියන්නේ.

    ඔබගේ ලිපියෙන් ලියා ඇත්තේ බුදු රජානන් වහන්සේ ගේ ආශ්චර්‍යය අත්භූත කරුනු වත්මන් විද්‍යාව නැමති අවිද්‍යාවෙන් පැහදීමටය. එය කිසි දිනක කල නොහැකි දෙයකි.
    ඔබ තුමා කියන අයුරින් බුදු ‍රැස් විහිදීමට නොහැකි නම් බුද්ධ රූපයක් මතු වීමද විය නොහැකි දෙයකි..නමුත් අප දන්නවා රුවන්මැලි සෑයේ කොත පලන්දන මොහොතේ බුදු රුවක් මැවී දහම් දෙසා ඇතිබව ඉතිහාසයේ සදහන් වෙනවා..

    ඔබතුමා නිවරදි බෞද්ධ යන්න මම නොදනිමි..බෞද්ධ නම් ඔබ සරණ ගොස් ඇත්තේ බුදුපියානන් නොව බටහිර පිරිස්ය..
    දැන්වත් මේ යටත් මානසිකත්වයෙන් මිදෙමු.

    බුදුවරුන්ගේ ආශ්චර්‍යය දේවල් අපට අවබෝධ කරගැනීමට නොහැකි.ඒක බුද්ධ විශයක්.බුදු පියානන් වහන්සේම දේශනා කර තිබෙනවා ඒවා ගැන හොයන්න යන්න එපා ඒවා අචින්තයි කියා..

    ReplyDelete
  2. පළවෙනි වතාවට මේ ගොඩවැදුනේ....බොහොම සාරවත් ලිපියක් ...තවත් මේ වගේ දැනුම බෙදන්න ඉදිරියටත් හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව...
    .....බෞද්ධ දර්ශනයයි.. බෞද්ධ ආගමයි කියන්නේ දෙකක්..බෞද්ධ දර්ශනයේ හරය අවබෝධ කරගන්න උත්සාහ කරන් නැතිව ආගමේ බාහිර සැරසිලි පසුපස්සේ මිනිස්සු ඇදිල යනඑක ඇත්තටම අවාසනාවක්...

    ReplyDelete
  3. ආශ්චර්යයන් බලාපොරොත්තු වෙන, බෞද්ධයන් මෙන් පෙනීසිටින්නන් ම'විසින් හඳුන්වන්නේ

    "හින්බුඩ්ඩන්" යන නමිනි.
    අද්‍යතන "බුද්ධාගම" හින්දුන්ගේ නිර්මාණයක් වන අතර එය මතුපිටින් බුදු දහමත් අභ්‍යන්තරයෙන්

    හින්දු දේව ඇදහිලි, ආශ්චර්යයන් සහ විශ්වාසයන්ගෙන් පිරුණු එකකි.
    මොවුන් හින්දු සහ බෞද්ධ යන දෙකටම නැති සංක්‍රාන්ති ආගමිකයන්ය. හින්දු+බෞද්ධ (hindu

    +buddhist) > (hinbudd) හින්බුඩ් ලෙස ඔවුන් නාමකරණය කළේ හේතු ඇතිවය. සැබෑ

    බෞද්ධයන් හින්බුඩ්ඩන්ගෙන් වෙන්කර ගැනීමට එසේ නාමකරණය කරගැනීම පහසුවකි.
    ඒ අනුව ගස්දෙබල් අස්සෙන් දෙවියන් දකින්නන් ද ඕනෑම බුදු පිළිමයකින් "බුදුරැස්" දක්න්නන් ද
    බෝ ගස්වල අපල පාන්කඩ එල්ලන්නන් ද "හින්බුඩ්ඩන්" මිසක බෞද්ධයන් නොවේ.

    ReplyDelete
  4. ආශ්චර්යයන් බලාපොරොත්තු වෙන, බෞද්ධයන් මෙන් පෙනීසිටින්නන් ම'විසින් හඳුන්වන්නේ "හින්බුඩ්ඩන්" යන නමිනි.
    අද්‍යතන "බුද්ධාගම" හින්දුන්ගේ නිර්මාණයක් වන අතර එය මතුපිටින් බුදු දහමත් අභ්‍යන්තරයෙන් හින්දු දේව ඇදහිලි, ආශ්චර්යයන් සහ විශ්වාසයන්ගෙන් පිරුණු එකකි.
    මොවුන් හින්දු සහ බෞද්ධ යන දෙකටම නැති සංක්‍රාන්ති ආගමිකයන්ය. හින්දු+බෞද්ධ (hindu +buddhist) > (hinbudd) හින්බුඩ් ලෙස ඔවුන් නාමකරණය කළේ හේතු ඇතිවය. සැබෑ බෞද්ධයන් හින්බුඩ්ඩන්ගෙන් වෙන්කර ගැනීමට එසේ නාමකරණය කරගැනීම පහසුවකි.
    ඒ අනුව ගස්දෙබල් අස්සෙන් දෙවියන් දකින්නන් ද ඕනෑම බුදු පිළිමයකින් "බුදුරැස්" දක්න්නන් ද
    බෝ ගස්වල අපල පාන්කඩ එල්ලන්නන් ද "හින්බුඩ්ඩන්" මිසක බෞද්ධයන් නොවේ.

    ReplyDelete
  5. නමෝ බුද්ධාය, කෙනෙකුන් බුද්ධ චරිතය ගැන දන්නේ නැතිනම්, යමා මහා පෙළහර ගැන දන්නේ නැතිනම්, එය විශ්වාශ කරන්නේ නැතිනම්, කෙනෙකුන් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අධිෂ්ඨාන 5 ට ගරහන්නේ නම් ඔහු තිසරණය සරණ නොගිය, බටහිර සුද්දන්ගේ ඉගැනීම් සරණ ගිය , අනාර්ය වූ විද්‍යාවක් තුල සිටින සංසාර ගමනේ නොයෙකුත් දුක් විදින්නට සතර අපාය මහගෙදර කරගත් තවත් එක සත්වයෙක් පමණි. භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදිය යුත්තේ ධර්මය දැකීමෙන් බව සත්‍යය. පටිච්ච සමුප්පාදය දන්කින්නෙකු මා දකින්නේය යනුවෙන් පැවසුවේ එහෙයෙනි. නමුදු මට්ටකුණ්ඩලි මැරෙන මොහොතේදී බුදුරජාණන් වහන්සේ රැස් දහරාවක් යවා තමන් වහන්සේගේ රුපයට මට්ටකුණ්ඩලි පැහැදුණු නිසා දෙව් ලොව ගිය බව දේශනා කරන ධර්මය අසත්‍යක් බවද ඔබ පවසන්නේ ? එලෙසින් ධර්මය රැකගෙන ආ සංඝයා වහන්සේලා බොරුකරුවන් බවද ඔබ මේ පවසන්නේ? ඔබගේ සියසින්ම බුදුරැස් දකිනා තාක් කල් ඔබ මේ දෙය විශවාස කරන්න එපා. නමුදු භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින චෛත්‍ය වහන්සේ නමක් නිරතුරුවම ඇසුරු කරන්නේ නම් ඔබටද බුදුරැස් දැකගත ගන්නවට වඩා හුගක් පින් රැස් කරගත හැක. සුද්දන්ගේ අනාර්ය ධර්මය සරණ ගිය ඔබලාට , භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය ධර්මය වැටහේවා .

    භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට කැමති , නමුත් ධර්මය නොදන්නා කෙනෙකුන් ධර්මය තුලින් බුදුසමිදුව දැකගන්නට කියවන්න කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ විසින් රචිත පොත්වහන්සේලා. පින සහ අවබෝධය පොත්වහන්සේ හොඳ ආරම්භයක්. පුලුවනිනම් මහමෙව්නාවේ ඉරිදා වැඩසටහන් වලට යන්න, නැතිනම් ශ්‍රද්ධාTV හෝ ලක්විරු FM 0105.2 නිතර බසයේ යන එන කොට අහන්න,නිතරම යන එන විට
    සුත්‍ර දේශනාම කියවන්න අහන්න. ඔබටත් බුදුරජාණන් වහන්සේව දැකගන්න ලැබේවි.
    You better learn Buddhism from Ajahn Brahm who has a degree in Quantum physics from cambridge university.Tell me your knowledge of science exceed his.

    https://www.youtube.com/watch?v=JNpdCvWU5Oc



    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්