Tuesday, March 13, 2012

තරඟ පාවාදීම පිළිබඳව චෝදනා පාකිස්ථානයට හා ඉන්දියාවට එල්ල වේ.

පසුගිය ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති අවසන් පූර්ව තරඟයේදී මුදලට තරඟ පාවාදීම පිළිබඳව චෝදනා එල්ලවනවා.


බි‍්‍රතාන්‍යයේ පළවන සන්ඬේ ටයිම්ස් පුවත්පත මෙම තොරතුරු අනාවරණය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා. එම තොරතුරු පදනම් කරගනිමින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයද ඊට අදාළව පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් වනවා.


බුකී කරුවන් විසින් ක‍්‍රීඩකයන්ට මුදල් ලබාදී තරඟයේ තීරණයට බලපෑමක් ඇති කළේද යන්න මෙමඟින් සොයා බැලෙනු ඇති. එංගලන්තයේ සිට ක‍්‍රියාත්මක වන බුකී කරුවන් තරඟ තීරණ වෙනස් කිරීම සහ තරඟ පාවාදීම් සඳහා ක‍්‍රීඩකයින්ට ඉතා ඉහළ මුදලක් ලබාදෙන බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.


ඒ අනුව පිතිකරුවෙකුට පවුම් 44000 ක්ද, පන්දු යවන්නෙකුට පවුම් 50000 ක මුදලක්ද ගෙවීමට බුකී කරුවන් ඉදිරිපත්ව ඇති බව ටයිම්ස් වාර්තාවේ සඳහන්. මීට අමතරව තරඟයක තීරණයට ඍජුවම බලපාන නිලධාරීන්ට සහ ඇතැම් වටිනා ක‍්‍රීඩකයින්ට බුකී කරුවන් විසින් පවුම් හත්ලක්ෂ පනස්දහසක් ගෙවීමටද පසුබට නොවන බවයි එහි දැක්වෙන්නේ.


පසුගිය ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය අතරතුර නවසීලන්ත ක‍්‍රීඩකයින්ද මුදලට තරඟ පාවාදුන් බවට චෝදනා එල්ලවනවා. එහෙත් නවසීලන්ත ක‍්‍රිකට් බලධාරීන් එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.


මුදලට තරඟ පාවාදුන් බවට චෝදනා එල්ලවන ඉන්දු - පකිස්ථාන් තරඟයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 29 කින් ජයගනු ලැබුවා. 2010 වසරේදී එංගලන්ත සංචාරය අතරතුර මුදලට තරඟ පාවාදුන් බවට පාකිස්ථානු ක‍්‍රීඩකයින් වන මොහොමඞ් අසීෆ්, මොහොමඞ් අමීර් සහ සල්මන් බට් එංගලන්ත අධිකරණයක් විසින් වරදකරුවන් කෙරුණා.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්