Sunday, March 11, 2012

උසස්‌ පෙළ විෂයයන් සාමාන්‍ය පෙළට ?

උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළ විෂය මාලාවට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගේ විරෝධය පළවී ඇත.

ලබන වසරේ (2013) සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇතත් එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න හා විෂය මාලා සැකසිය යුතු ආකාරය පිළිබඳව නිශ්චිත තීරණයකට පැමිණීමට අමාත්‍යාංශයට නොහැකි වී තිබේ. උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා සකස්‌ කරන විද්වතුන් සමග එහි අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්‌ඩාර මහතා සාකච්ඡා වට කිහිපයක්‌ පැවැත්වූ අතර එහිදී ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ එම ක්‍රමවේදයට අදාළ ලිඛිත තොරතුරු අවශ්‍ය බවය. උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළට ඇතුළත් කිරීම පිළිබඳව ඔවුන්ගේ පූර්ණ එකඟතාවක්‌ නොමැති බවද දැනගන්නට ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ සිටම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අක්‍රීයව පවතින මෙවන් අවස්‌ථාවක සිසු දරුවන්ට අදාළ අතිශය වැදගත් ප්‍රතිපත්තිමය තීරණයක්‌ අමාත්‍යාංශයට ගත හැකිදැයි ප්‍රශ්න කරන අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විද්වත්හු මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ හොත් එම විෂයයන්වලට අදාළ ගුරුවරුන්ගේ හිඟයක්‌ ඇති වී දරුවන් අතරමං වීම නොවැළැක්‌විය හැකි යෑයිද සඳහන් කරති.

මෙම ක්‍රමය යටතේ උසස්‌ පෙළ විෂය ධාරාවලට අදාළ විෂයයන් සාමාන්‍ය පෙළට ඇතුළත් කෙරෙන අතර ප්‍රධාන විෂයයන් හයට අමතරව සාමාන්‍ය පෙළ සිසුන් උසස්‌ පෙළට නියමිත මෙම විෂයයන් තුනක්‌ හැදෑරීම අනිවාර්ය වේ. එලෙස හැදැරීම උසස්‌ පෙළට පහසුවක්‌ වන බව අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතත් මෙය සාමාන්‍ය පෙළ සිසුන් තවත් පෞද්ගලික උපකාරක පන්ති කරා යොමු කරවන ක්‍රියාවලියක්‌ යෑයිද විද්වත්හු පෙන්වා දෙති.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්