Tuesday, March 27, 2012

මහේලගෙන් ලෝක වාර්තාවක්

එක්‌ ක්‍රීඩාපිටියකදී ලකුණු 2000 සීමාව දෙවතාවක්‌ පසු කළ ලොව පළමු ක්‍රීඩකයා වීමේ වාර්තාවද සමගින් සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ 30 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන සමත්වීම මත සංචාරක එංගලන්ත කණ්‌ඩායම සමග ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ ඊයේ (26 දා) ඇරැඹි පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 8 කට ලකුණු 289 ක්‌ වශයෙන් සැනසිලිදායක තත්ත්වයකට පැමිණීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත් විය.

මුහුණ දුන් පළමු පන්දුවේ සිටම මනා විශ්වාසයකින් යුතුව තම පිත්ත හැසිරවූ ශ්‍රී ලංකා නායකයාගේ පන්දු 290 කින් ලබා ගන්නා ලද ලකුණු 168 ක ඉනිම සඳහා 20 වතාවක්‌ පන්දුව හතරේ සීමාව පසු කරමින්ද 3 වතාවක්‌ පන්දුව හතරේ සීමාවට ඉහළින්ද යෑවීමට සමත්වූවේය. මහේල විසින් රැස්‌ කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව ටෙස්‌ට්‌ තරගවලදී 150 සීමාව පසු කර ගිය 14 වැනි වතාව වශයෙන්ද සටහන් වූවේය.

ජයවර්ධන මීට පෙර තම ක්‍රීඩා සමාජ පිටිය වන කොළඹ එස්‌. එස්‌. සී. පිටියේදී ලකුණු 2697 ක්‌ ලබා තිබූ අතර ඊයේ දිනයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද (2100) ලකුණු 2000 සීමාව පසු කර යමින් අදාළ දස්‌කම දෙවතාවක්‌ කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට සමත්වූවේය. ලොව පිතිකරුවන් අතුරින් එක්‌ ක්‍රීඩාංගණයක ලකුණු 2000 සීමාව පසු කිරීමට සමත්ව ඇත්තේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජැක්‌ කලිස්‌ (කේප්ටවුන්හි නිව්ලන්ඩ්ස්‌ ක්‍රීඩා පිටියේදී ලකුණු 2098 ක්‌) සහ එංගලන්ත ක්‍රීඩක ග්‍රැහැම් ගුච් (ලෝඩ්ස්‌ ක්‍රීඩා පිටියේදී ලකුණු 2015) දෙදෙනා පමණි.

කණ්‌ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසු සිය මව්බිමේදී නායකත්වය ලබා දුන් පළමු තරගය වූ මෙම තරගයේදී ජයවර්ධන ලබාගත් ශතකය ගාල්ල ක්‍රීඩා පිටියේදී පිට පිට ඉනිම දෙකකදී ඔහු වාර්තා කළ දෙවැනි ශතකය වීමද සුවිශේෂී වෙයි. හෙතෙම අවසන් වරට ඔස්‌ට්‍රේලියාව සමගින් ගාල්ල ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 105 ක්‌ ලබා ගැනීමට සමත්වූවේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ ලකුණු 10,000 සීමාව පසු කළ පළමු ක්‍රීඩකයා බවට පත්ව සිටින මහේල ජයවර්ධන මේ වන විට රැස්‌ කළ ඇති ලකුණු 10,254 කින් ලකුණු 4797 ක්‌ම ගාල්ලේදී සහ කොළඹ එස්‌. එස්‌. සී. යන ක්‍රීඩාංගණවලදී වාර්තා කර ගැනීමට සමත්වීම තවත් කැපී පෙනෙන සිදුවීමකි. ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව එස්‌. එස්‌. සී. පිටියේදී රැස්‌ කරන ලද ලකුණු 51 ක ඉනිමෙන් පසු ක්‍රීඩා කරන ලද 13 වැනි ඉනිමේදී මෙම ශතකය ලබා ගැනීමද විශේෂත්වයක්‌ වේ. අවසන් වරට ක්‍රීඩා කරන ලද ඉනිම 12 දීම මහේල රැස්‌ කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 234 ක්‌ පමණක්‌ වන අතර එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 19.5 ක්‌ ලෙස සටහන් විය.

තරගයේ ප්‍රතිඵලය සඳහා බෙහෙවින්ම වැදගත් සාධකයක්‌ වශයෙන් සැලකෙන කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළද සිව්වැනි පන්දුවාරය වන විට ඉදිරි පෙළ කඩුලු 3 ම ලකුණු 15 කදී දවා ගැනීමට එංගලන්ත වේග පන්දු යවන්නෝ සමත්වූහ. ප්‍රථමයෙන්ම තිරිමාන්නව ලකුණු 03 කට දවා ගත් ඇන්ඩර්සන් ඊළඟ පන්දුවේදීම කුමාර් සංගක්‌කාරව දවාගැනීමට සමත්වූවේය.

තම පළමු ලකුණු වාර්තා කිරීම සඳහා පන්දු 31 ක්‌ වැය කළද අනතුරුව හොඳ ස්‌ථාවරත්වයක්‌ ගොඩ නගාගැනීමට සමරවීර සමත්වූවේය. එහෙත් ජයවර්ධන විසින් එල්ල කරන ලද පහර පන්දු යෑවූ ඇන්ඩර්සන්ගේ අතේ වැදී පන්දු යවන්නාගේ කඩුල්ල බිඳී යැම මත අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යැමකට හසුව සමරවීරගේ ඉනිම ලකුණු 20 කදී නිමා වූවේය. එපරිද්දෙන්ම ප්‍රසන්න ජයවර්ධනගේ ඉනිමද ලකුණු 23 කට නිමා වීම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක්‌ වූවේය.

නවක ක්‍රීඩකයකු වුවද නිරන්තරයෙන්ම ලකුණු අතර සිටින ක්‍රීඩකයකු ලෙස නමක්‌ දිනා සිටින දිනේෂ් චන්දිමාල්ට ඊයේ දිනයේදී සිය මංගල ටෙස්‌ට්‌ ශතකය වාර්තා කර ගැනීමට හොඳින්ම අවස්‌ථාව තිබුණද සංයමය බිඳී යැම මත ඔහුගේ ඉනිම ලකුණු 27 කට සීමා වූවේය. ඒ වන විටත් දැවැන්ත හයේ පහර 2 ක්‌ සහ හතරේ පහර 2 ක්‌ තම ඉනිමට ඇතුළත් කර ගැනීමට චන්දිමාල් සමත්වී සිටියේය.

එංගලන්ත කණ්‌ඩායම වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ෙ-ම්ස්‌ ඇන්ඩර්සන් ලකුණු 56 ට කඩුලු 3 ක්‌ද සිය මංගල ටෙස්‌ට්‌ තරගයට සහභාගිවෙමින් සිටින සමිත් පටෙල් ලකුණු 27 කට කඩුලු 2 ක්‌ ද බිඳ හෙලුවේය. මෙම තරගයේදී තිරිමාන්නව දවාගත් ඇන්ඩර්සන් තම ටෙස්‌ට්‌ දිවියේ කඩුලු 250 සීමාව පසු කර ගිය අතර එංගලන්තය වෙනුවෙන් එම සීමාව පසු කළ 6 වැනි ක්‍රීඩකයා වශයෙන්ද ඔහු ඉතිහාස ගත විය.

සමස්‌තයක්‌ ගත් විට ඊයේ දිනයේදී එංගලන්ත කණ්‌ඩායමේ පන්දු රැකීම දුර්වල මට්‌ටමක පැවැතීමද ශ්‍රී ලංකාවට තරමක වාසිදායක තත්ත්වයක්‌ උදා කළේය. එහිදී මහේල ජයවර්ධන විසින් මොන්ටි පනේසාර් වෙත ලකුණු 147 දී සහ 152 දී ලබා දුන් උඩපන්දු දෙකම අත හැරීම ඒ අතරින් කැපී පෙනිණි. අද තරගයේ දෙවැනි දිනයයි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්