Thursday, March 1, 2012

හොර පාරෙන් අධ්‍යාපන පරිපාලනයට

අධ්‍යාපන ඇමතිවරයා විසින් අධ්‍යාපන පරිපාලන සේවයේ වැඩබලන නිලධාරීන් කැබිනට් පති‍්‍රකාවක් හරහා ස්ථිර කිරීමට ගන්නා උත්සාහයට සිය බලවත් විරෝධය පළකරන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එකී සම්පූර්ණ නිවේදනය පහත පරිදිය.

ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවය 2002 මාර්තු 1 දින නිකුත් කරන ලද අංක 1225/32 දරණ ගැසට් පත‍්‍රයට අනුව ප‍්‍රකාශිත සේවා ව්‍යවස්ථා සංග‍්‍රහයක් යටතේ කි‍්‍රයාත්මක වේ. එම ව්‍යවස්ථාව තුළ එම සේවාවට බඳවා ගැනීම් පටිපාටිය පැහැදිලි ව දක්වා ඇත.

අදාළ ව්‍යවස්ථාව පාදක කොට ගෙන 2010 දෙසැම්බර් 31 වෙනි දින නිකුත් කරන ලද අංක 1687 දරණ ගැසට් පත‍්‍රයෙන් මේ වන විට ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමට තරග විභාගයකට අයඳුම්පත් කැඳවා රු.1000/- ක විභාග ගාස්තුවක් ද ගෙවා 25000 කට වැඩි පිරිසක් එම විභාගයට පෙනී සිට මේ වන විට ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වෙති.

එම විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කොට විධිමත් ව ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට පත්වීමට අපේක්ෂාවෙන් සිටින පිරිස බඳවා නොගෙන අධ්‍යාපන අමාත්‍යවරයා වැඩබලන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් 725 දෙනෙකු අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුළත් කිරීමට කැබිනට් පති‍්‍රකාවක් යොමු කරන බව මේ වන විට වාර්තා වී තිබේ.

කැබිනට් පති‍්‍රකාවෙන් යෝජිත වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මෙම පත්වීම් ලබාගෙන ඇත්තේ සුදුසු නිලධාරීන් සිටියදී දේශපාලන හා වෙනත් හිතවත්කම් මතය. මේ ආකාරයට වැඩබලන අධ්‍යක්ෂකවරුන් කැබිනට් පති‍්‍රකා හරහා ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට පත්කිරීම පරිපාලන සේවා ව්‍යවස්ථාවට අනුව එම සේවයට ඇතුළු වීමට නොහැකි අයට සේවයට ඇතුළු වීමට පවතින අයථා ක‍්‍රමවේදයකි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම කැබිනට් පති‍්‍රකාව හරහා අයථා ලෙස අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු දරණ වැඩබලන නිලධාරීන්ට ස්ථිර තත්ත්වයක් ලබාදීම තුළ මෙම තනතුරු අපේක්ෂාවෙන් සිටින සුදුසුකම් ඇති නිලධාරීන්ට බරපතළ අසාධාරණයක් සිදුවන අතර සේවා ව්‍යාවස්ථාව දැඩි ලෙස උල්ලංඝණය කිරීමක් ද සිදු කරයි.

ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගනු ලබන්නේ, සේවා ව්‍යවස්ථාවට අනුව පද්ධතියේ ඇතිවන පුරප්පාඩු සංඛ්‍යාවමත තරග විභාග පැවැත්වීමෙනි. පද්ධතියේ පවතින පුරප්පාඩු කැබිනට් පති‍්‍රකා හරහා පිරවීම තුළින් එම පුරප්පාඩු සම්පූර්ණ වන අතර විධිමත් ආකාරයෙන් එම පත්වීම් අපේක්ෂා කරන්නන් හට එම තනතුර ලැබීමට ඇති අයිතිය වළකාලයි.

මේ තත්වය තුළ මෙම කැබිනට් පති‍්‍රකාවට ගුරු සහ විදුහල්පතිවරුන් නියෝජනය කරන සංගමයක් ලෙස අප දැඩි විරෝධය පළ කරන අතර අපගේ විරෝධය නොතකා මෙම පත්වීම් ලබාදෙන්නේ නම් එයට එරෙහි කි‍්‍රයාමාර්ගයන්ට යොමු වන බව පැහැදිලිව සඳහන් කරමු.

මේ වන විට මෙම තත්වය වළකන ලෙස කැබිනට් ලේකම්,රාජ්‍ය සේවා කොමිෂමේ ලේකම් සහ අධ්‍යාපන ලේකම් ට ලිඛිතව ලංකා ගුරු සංගමය දැනුම් දී ඇත.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්