Tuesday, February 28, 2012

අද ඉන්දියාව bonus point එකක් සමග ජය ගතහොත් ශ්‍රී ලංකාවට ඔස්‌ට්‍රේලියාව සමග තරගය ජයගැනීම අනිවාර්යයි

කොමන්වෙල්ත් කුසලාන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ 11 වැනි තරගය හෙවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (28 දා) හෝබාර්ට්‌හි බෙලිරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා/රාත්‍රී තරගයක්‌ වශයෙන් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 8.50 ට ආරම්භ වනු ඇත.

තරගාවලියේදී මෙතෙක්‌ තරග කළ තරග 7 න් තරග 2 ක්‌ පමණක්‌ ජයගෙන සිටින ඉන්දීය කණ්‌ඩායම පෙරේදා ඔස්‌ට්‍රේලියාව සමග පැවැති තරගය පරාජයට පත්වීමත් සමග තරගාවලියෙන් ඉවතට විසිවෙනු ඇතැයි අපේක්‍ෂා කෙරුණද තරගාවලි නීති රෙගුලාසිවලට අනුව අදාළ අවසන් මහ තරග අවස්‌ථාවට සුදුසුකම් ලැබීම සඳහා ඔවුන්ට තවමත් සුලූ අවස්‌ථාවක්‌ ඇත.

ඒ අනුව ඉන්දීය පිලට අවසන් තරග වරම් ලබා ගැනීමට නම් අද තරගයේදී ප්‍රසාද ලකුණද සමගින් ජයගත යුතු වන අතරම ලබන මාර්තු 02 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ
ඔස්‌ට්‍රේලියාව අතර තරගයෙන් ඔස්‌ට්‍රේලියාව ජය ගත යුතුය.

අද තරගය ප්‍රසාද ලකුණද සමගින් ඉන්දියාව ජය ගත හොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවද 15 දක්‌වා ඉහළ යනු ලබන අතර එහිදී ප්‍රසාද ලකුණු 15 ක්‌ ලබා සිටින ශ්‍රී ලංකාව සමගින් සම තැන් ගනු ලබනු ඇත. ප්‍රසාද ලකුණු සමවීමේදී තරගාවලියේ ඉදිරිය තීරණය දල ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම්ව වුවත්, මෙම තරගාවලියේ නීති රෙගුලාසිවලට අනුව උක්‌ත කරුණ සඳහන් වන්නේ සිව්වැනි තැනට වේ. ප්‍රසාද ලකුණු සමවීමේදී අනු ගමනය කළ යුතු වගන්තිවලට අනුව එකිනෙකාට එරෙහිව වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක්‌ වාර්තා කර තිබෙන කණ්‌ඩායම ඉදිරි තරග වටය සඳහා සුදුසුකම් ලබයි. එබැවින් අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් වූ අදාළ සුලු අවස්‌ථාව ඉන්දීය පිලට හිමිවී තිබේ.

එසේ වුවහොත් අදාළ අවසන් මහ තරග අවස්‌ථාව දිනා ගැනීමට නම් ශ්‍රී ලංකාවට ඔස්‌ටේ්‍රලියාව සමගින් පැවැත්වෙන තරගයේ ජය අනිවාර්ය වනු ඇත.

තරගාවලිය ආරම්භයේ යම් කිසි පසුබැස්‌මක්‌ පෙන්නුම් කළද සිව්වැනි තරගයේ සිට යළිත් සුපුරුදු දස්‌කම් අතරට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වත්මන් දක්‍ෂතා පිළිබඳ සලකා බැලීමේදී ප්‍රසාද ලකුණද සමගින් තරගයේ ජය වාර්තා කිරීම ඉන්දීය පිලට එතරම් පහසු කරුණක්‌ නොවනු ඇත.

එමෙන්ම කණ්‌ඩායමේ සිටින ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ආබාධයන්වලට ලක්‌වී සිටීම ඉන්දියාව මුහුණ දෙන තවත් බරපතල ගැටලුවකි. ඉන්දීය කණ්‌ඩායමේ සිටින ප්‍රබලම වේග පන්දු යවන්නා වන සහීර් ඛාන් බත් කෙණ්‌ඩ ආශ්‍රිත ආබාධයකට මුහුණදීම මත මේ වන විට තරගාවලියෙන් ඉවත්වී සිටින අතර අනෙක්‌ වේග පන්දු යවන්නා වන විනේ කුමාර්ද කලවයේ මස්‌පිඬු පෙරළීමේ ආබාධයකට මුහුණ දී සිටියි.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන් ආබාධයකට ලක්‌වී තිබෙන බවක්‌ ඔස්‌ටේ්‍රලියානු වාර්තා වල සඳහන් නොවන අතර එහිදී ජයග්‍රාහී
ඔස්‌ට්‍රේලියානු පිලට එරෙහිව ක්‍රීඩා කරන ලද කණ්‌ඩායමේ සංයුතියම අද තරගයටද සහභාගි කරනු ඇතැයි සඳහන් වේ.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්