Monday, February 20, 2012

මේ වසරේ ඉන්දියාව නැතුව හෝ SLPL ගහනවාලු

මෙම වසරේ පැවැත්වීමට තීරණය කර සිටි අන්තර් පළාත් සිව්දින ක්‍රිකට්‌ තරගාවලිය වෙනුවට ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේද සහභාගිත්වයෙන් යුතුව ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් එස්‌. එල්. පී. එල්. පන්දුවාර 20/20 තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තීරණය කර තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලියෙහි බලයලත් නියෝජිතයා වන සමර්සෙට්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ වෙන්චර්ස්‌ ආයතනය සමගින් සාකච්ඡාවක්‌ පසුගිය සති අන්තයේදී පවත්වා තිබේ. අදාළ සාකච්ඡාවේදී දෙපාර්ශ්වයෙන්ම යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බවත් එම තරගාවලිය පැවැත්වීම සඳහා සමර්සෙට්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ ආයතනය එකගතාවයද පළ කර තිබෙන බවත් මේ පිළිබඳව "දිවයින"ට අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන බලධාරියෙක්‌ සඳහන් කර සිටියේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ස්‌වරූපයෙන්ම අදාළ එස්‌.එල්. පී. එල්. තරගාවලිය මීට පෙර පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය උනන්දු වූවත්, හදිසියේම එම තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ඉන්දීය ක්‍රීඩකයන්ට ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් ඒ සඳහා අවසර දීම ප්‍රතික්‍ෂේප කළ බැවින් තරගාවලිය පැවැත්වීමේ අවස්‌ථාව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් ගිලිහී ගියේය.

තරගාවලියට සහභාගිවන ඉන්දීය ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමගින් නොව වෙනත් පෞද්ගලික ආයතනයකින් වීම මතත් සහ ඒ පිටුපස අයි. පී. එල්. තරගාවලියේ හිටපු සභාපතිවරයා වන ලලිත් මෝඩි සිටින බවට මතුවූ සැකයක්‌ මත තරගාවලිය නියෝජනය කිරීම සඳහා අවසර නොදීමට ආසන්නම හේතුව වශයෙන් ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය සඳහන් කර සිටියේය.

එහෙත් මෙවර තරගාවලියේදී ඉන්දීය ක්‍රීඩකයන් සහභාගි වුවත් නොවූවත් වෙනත් විදෙස්‌ ක්‍රීඩකයන් සමගින් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු යොදන බව මේ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි එම බලධාරියා සඳහන් කර සිටියේය. මෙම තරගාවලිය ඉන්දීය කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවසානයත් සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට පෙර පවත්වනු ලබන බවද සඳහන් වේ.

පෙර පරිදිම අදාළ තරගාවලියේදී කණ්‌ඩායම් 7 ම තරග කිරීමට නියමිත වේ. එහිදී බස්‌නාහිර බෙයාර්ස්‌ පිල ටී .එම්. ඩිල්ෂාන් විසිනුත්, කඳුරට කයිට්‌ස්‌ පිල කුමාර් සංගක්‌කාර විසිනුත්, රුහුණ රයිනෝ සනත් ජයසූරිය විසිනුත්, ඌව යුනිකෝර්න් චමින්ද වාස්‌ විසිනුත්, වයඹ වොල්ව්ස්‌ මහේල ජයවර්ධන විසිනුත් උතුර ඔරික්‌සස්‌ ඩැනියෙල් විටෝර් විසිනුත් සහ නැගෙනහිර නාගාස්‌ ෂහිඩ් අෆ්රිඩී විසිනුත් මෙහෙයවීමට නියමිතව තිබිණි.

යෝජිත එස්‌. එල්. පී. එල්. තරගාවලිය සඳහා ඉන්දියාවෙන් දිනේෂ් කාර්තික්‌, ඉර්ෆdන් පතන්, මනීෂ් පාණ්‌ඩේ, මනෝඡ් තිවාරි, පෝල් වල්තාටි, රවීන්ද්‍ර ජඩේජා, සවුරබ් තිවාරි, උමේෂ් යාදව්, විනේ කුමාර්, මුනාෆ් පටෙල්, ප්‍රවීන් කුමාර්, ආර්. අශ්වින් ද, පාකිස්‌තානයෙන් ෂොයෙබ් අක්‌තාර්, අබ්දූල් රසාක්‌, උමර් අක්‌මාල්, ෂොයෙබ් මලික්‌, ෂහිඩ් අෆ්රිඩි, මිස්‌බා උල්හක්‌, උමාර් ගුල්, සයිඩ් අඡ්මාල්ද, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින්, ක්‍රිස්‌ ගේල්, ඩැරන් බ්‍රාවෝ, ඩ්වයින් බ්‍රාවෝද, දකුණු අප්‍රිකාවෙන් හර්ෂල් ගිබ්ස්‌ද, නවසීලන්තයෙන් ඩැනියෙල් විටෝරිද, ඔස්‌ටේ්‍රලියාවෙන් ඩේවිඩ් වෝනර්, ෂෝන් ටේට්‌ සහ ෂෝන් මාෂ්ද සහභාගිවීමට නියමිතව සිටියහ.
 

1 comment:

  1. වසරකට මිලියන 30ක් ක්‍රිකට් පාලක මන්ඩලයට පාඩු වෙනව මෙම ගිවිසුම අනුව,මුලික ගිවිසුම අවුරුදු 5කට වන අතර,කන්ඩායම් වල අයිතිය අවුරුදු 25කට සමර්සෙට් ආයතනය සතු වෙයි,මෙයින් ක්‍රිකට් පාලක මන්ඩලයට වන පාඩුව අසීමිතය,අවසානයේ බලද්දි ලංකාවේ අහින්සක සාමාන්ය ජනයා මත තවත් බරක් පෑටවීමක් පමනයි.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්