Tuesday, February 7, 2012

පාසල් නිල ඇඳුම් තවම නෑ-ජෝශප් ස්ටාලින්

නිල ඇඳුම් සඳහා මුදල් වෙන්කර තිබුණද 2012 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් මෙතෙක් ලබාදීමට කටයුතු කර නොමැති බව ලංකා ගුරු සංගමය පවසයි.

ලංකා ගුරු සංගමයේ ‍ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ. එකී නිවේදනය පහත පරිදිය.

රජයේ පාසල්වලට ලබාදෙන නිල ඇඳුම් 2012 වර්ෂය සඳහා මේ වන විටත් ලබා දී නැත. අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ සියලූ ම පාසල්වල සිසුන්ට නිල ඇඳුම් සහ පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සිවුරු රෙදි ලබාදීම සඳහා රුපියල් මිලියන 1595 ක් වෙන්කර තිබියදීත් 2012 වර්ෂයේ පළමු වාරය ආරම්භ වී මසකට වැඩි කාලයක් ගතවී ඇතත් මේ දක්වා පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමට කටයුතු කර නැත.

2011 වසරේ ද නිල ඇඳුම් ලබාදීම ප‍්‍රමාද වූ අතර, මාධ්‍ය සහ ගුරු සංගම් විසින් ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීමේදී නිල ඇඳුම් ලබාදුන්න ද, එම නිල ඇඳුම් රෙදි බාල රෙදි බව පාර්ලිමේන්තුවේ ද ප‍්‍රකාශ විය. එසේ ම මේ පිළිබඳ ව පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ 2012 වසරේදී එවැනි තත්ත්වයක් උදා නොකරන බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා විවිධ ප‍්‍රචාරක ව්‍යාපෘති සඳහා අති විශාල මුදල් සම්භාරයක් වියදම් කරමින් අධ්‍යාපනයේ සිදුකරන ආශ්චර්යමත් වෙනස්කම් ගැන පුරසාරම් දොඩවමින් සිටියද පාසල් ළමුන්ට නිල ඇඳුම් ලබා දීමටවත් මේ වන තෙක් පියවර ගෙන නැත. නිදහස් අධ්‍යාපනය සුරකින් බව සපථ කරමින් නිල ඇඳුම් රෙදි ප‍්‍රමාද කිරීමෙන් දෙමව්පියන්ට තම වියදමින් රෙදි මිල දී ගැනීමට සිදුවී ඇත.

10 ශ්‍රේණියට සමත් වන සිසුන්ට කොට කලිසම වෙනුවට දිග කලිසම් ඇඳීමට සිදුවීම තුළ ඔවුන්ට අලූතෙන් ම නිල ඇඳුම් සකසා ගැනීමට සිදු වේ. එම නිසා වහාම පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය බල කර සිටියි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්