Friday, March 30, 2012

මුරලිගෙන් පසු මවුබිමේදී මුල්ම ජය

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයෙන් ලකුණු 75 ක ජයක්‌ ලැබූ ශ්‍රී ලංකාව විසි මසකට පසු මව්බිමේදී ටෙස්‌ට්‌ ජයක්‌ ලබා ගැනීමට ඊයේ (29 දා) සමත් විය.

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ පන්දු යවන්නකු වාර්තා කළ තෙවැනි හොඳම පන්දු යෑවීම වාර්තා කිරීමට දඟ පන්දු යවන රංගන හේරත් (171/12) සමත් වීම මත වත්මන් ලොව අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.


ඉකුත් 2010 වසරේ අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම ලෙසින් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය කණ්‌ඩායමට එරෙහිව ගාල්ල පිටියේදීම පැවැති තරගයේදී වාර්තා කරන ලද ටෙස්‌ට්‌ තරග ජයග්‍රහණයට පසුව අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කරන ලද දෙවැනි ටෙස්‌ට්‌ තරග ජයග්‍රහණය මෙය වීමද විශේෂත්වයක්‌ වේ. අදාළ ජය මාස 20 කට පසු ශ්‍රී ලංකා කණ්‌ඩායම සිය මව්බිමේදී වාර්තා කළ පළමු ටෙස්‌ට්‌ ජයග්‍රහණයද වේ.


ජයග්‍රහණය සඳහා ලකුණු 340 ක ඉලක්‌කයක්‌ හඹා ගිය එංගලන්ත කණ්‌ඩායම වෙනුවෙන් අංක 3 පිතිකරු ජොනතන් ට්‍රොට්‌ හුදෙකලා සටනක නිරත වෙමින් පන්දු 266 කදී ලකුණු 112 ක්‌ ලැබුවද එය එංගලන්ත කණ්‌ඩායමේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. පරාජිත එංගලන්ත කණ්‌ඩායම ගාල්ල තණතීරුවේ සිව්වැනි ඉනිමේ වැඩිම ලකුණු වාර්තා කළ කණ්‌ඩායම බවට පත්විය. මීට පෙර සිව්වැනි ඉනිමේදී ගාලු ක්‍රීඩාංගණයේ වාර්තා කොට ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ශ්‍රී ලංකාව (253) වාර්තා කර තිබිණි.


ට්‍රොට්‌ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පීටර්සන් සමගින් ලකුණු 70 ක්‌ද ප්‍රයන් සමගින් පස්‌වැනි කඩුල්ල සඳහා ලකුණු 81 ක සම්බන්ධතා පවත්වමින් එංගලන්ත කණ්‌ඩායමට ජයග්‍රාහී මාවත විවර කරදීමට සමත්වුවත් නව පන්දුව ලබාගැනීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කිරීමත් සමග ජයග්‍රහණය සඳහා එංගලන්තය තබා තිබූ සියලු බලාපොරොත්තු සුන්විය.


ප්‍රයන්ගේ දැවී යැමට ප්‍රථම එංගලන්ත කණ්‌ඩායමට අවශ්‍යව තිබුණේ ලකුණු 106 ක්‌ පමණක්‌ වන අතර ඒ සඳහා ඔවුන්ට කඩුලු 6 ක්‌ම ඉතිරිව තිබිණි. එහෙත් නව පන්දුව ලබා ගනිමින් හේරත් විසින් ක්‍රියාත්මක කරන ලද 86 වැනි පන්දුවාරයේදී ප්‍රයන් විසින් එල්ල කරන ලද පහරක්‌ ෂෝට්‌ ලෙග්හි පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්නගේ දෙඅතේ සිරවීම එංගලන්ත පරාජයට පත්වීම සඳහා ප්‍රධාන සාධකයක්‌ විය.


සිය හත්වැනි ටෙස්‌ට්‌ ශතකය වාර්තා කළ ට්‍රෙට්‌ගේ ඉනිම සඳහා මිනිත්තු 336 ක්‌ වැය වූ අතර එහිදී හතරේ පහර 10 ක්‌ සමග ලකුණු 112 ක්‌ වාර්තා කිරීමට ඔහු සමත් විය.


කඩුලු 4 ට ලකුනු 233 ක්‌ වශයෙන් ප්‍රභල ස්‌ථානයක පසු වු එංගලන්ත දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 6 ම ලකුණු 33 කදී දැවී යැම විශේෂත්වයක්‌ විය.


හේරත්ට ප්‍රථම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරගයකදී කඩුලු 10 ක්‌ හෝ ඊට වැඩියෙන් ලබාගෙන ඇත්තේ ලෝක වාර්තාලාභී දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් (අවස්‌ථා 13 ක්‌), චමින්ද වාස්‌ (එක්‌ අවස්‌ථාවක්‌), අජන්ත මෙන්ඩිස්‌ (එක්‌ වතාවක්‌) සහ උපුල් චන්දන (එක්‌ වතාවක්‌) යන සිව් දෙනා පමණි. මෙහිදී මෙන්ඩිස්‌ සහ උපුල් චන්දන දෙදෙනා මුළු තරගයේදීම දවා ගෙන ඇත්තේ කඩුලු 10 බැගින් වීම මත ඔවුන් දෙදෙනාට වඩා ඉදිරි ස්‌ථානයක රංගන හේරත්ගේ නම ලියෑවෙනු ඇත.


හේරත් දැක්‌වූ 171/12 මෙම දක්‍ෂතාව මෙතෙක්‌ ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ හත්වැනි හොඳම පන්දු යෑවීම මෙන්ම ගාල්ල ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නකු විසින් වාර්තා කළ දෙවැනි හොඳම පන්දු යෑවීම වශයෙන්ද සටහන් වේ. ගාල්ල තණතීරුවේ හේරත්ට ඉදිරියෙන් පසුවන්නේ මුරලිදරන් (171/13) පමණි.


හේරත් විසින් කඩුලු 5 ක්‌ හෝ ඊට වැඩියෙන් දවා ගත් නවවැනි අවස්‌ථාව සහ තරගයකදී කඩුලු 10 ක්‌ දවා ගත් පළමු අවස්‌ථාව වශයෙන්ද මෙය සටහන් වේ. අදාළ දක්‍ෂතාව හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද හේරත් පිදුම් ලැබීය. දෙරට අතර මීළඟ ටෙස්‌ට්‌ තරගය පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ 3 වැනිදා ආරම්භවේ.



Sri Lanka vs England 1st Test | 26th March

 - Day 1 – Highlights
- Day 2 – Highlights
- Day 3 – Highlights
- Day 4 – Highlights

 

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්