Tuesday, March 13, 2012

අද තරගයට මාලින්ග නෑ

ශ්‍රී  ලංකා කණ්‌ඩායම තරග වදිනු ලබන පළමු එක්‌දින ජාත්‍යන්තර තරගය අද (13 දා) ලෝක ශූර ඉන්දීය කණ්‌ඩායම සමගින් බංග්ලාදේශයෙහි ධකා නුවර පිහිටි ෂෙයා බංග්ලා ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය දිවා/රාත්‍රි තරගයක්‌ වශයෙන් පැවැත්වෙනු ඇත.

ඉකුත් 2011 ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහ තරගයේදී දෙපිල මුණ ගැසීමෙන් පසු පසුගියදා ඔස්‌ට්‍රේලියාවේදී නිමාවූ කොමන්වෙල්ත් කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවස්‌ථා 4 කදී මුණ ගැසුණු අතර එහිදී තරග 2 ක ජය ඉන්දියාවත් එක්‌ තරගයක ජය ශ්‍රී ලංකාවත් අත්කර ගත්හ. එක්‌ තරගයක්‌ ලකුණු සමවීම මත අවසන් විය.

මෙම තරගයට පිවිසෙන ශ්‍රී ලංකා කණ්‌ඩායම ඉන්දියාව මුණ ගැසුණු අවසන් අවස්‌ථාවේදී ලද දැවැන්ත පරාජය කිසි විටෙකින්වත් අමතක නොකරනු ලබන බව නොඅනුමානය. එම තරගයේදී ලකුණු 321 ක දැවැන්ත ඉලක්‌කය ඉන්දීය කණ්‌ඩායම හමුවේ තැබීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත්වුවද, එය පන්දු 80 ක්‌ ඉතිරිව තිබියදී කඩුලු 3 ක්‌ පමණක්‌ දැවී රැස්‌ කර ගැනීමට ඉන්දීය පිල සමත්වූවේය.

මාස එකහමාරකට වැඩි කාලයක්‌
ඔස්‌ට්‍රේලියාවේ ඇති වේගවත් තණතීරුවල ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්‌ඩායම අද තරගයේදී මුහුණ දෙනු ලබන ප්‍රධාන අභියෝගය වන්නේ යළිත් වියළි සහ දඟ පන්දු යවන්නන්ට උචිත ආසියානු තණතීරුවලට හුරුවීම වේ. කොමන්වෙල්ත් කුසලාන තරගාවලියේ අවසන් මහ තරග අවස්‌ථාව ඉන්දීය පිලෙන් ගිලිහී යැම මත ඔවුන්ට වැඩි කාලයක්‌ සිය දේශීය තණතීරු යටතේ ක්‍රීඩා කිරීමට වැඩි අවස්‌ථාවක්‌ හිමිවීම මත එම තත්ත්වය ඔවුන්ට නම් එතරම් බල නොපානු ඇත.

ඔස්‌ටේ්‍රලියාවේදී දැඩි ලෙස ප්‍රහාරයකට ලක්‌ වුවද සිය ප්‍රබල පන්දු යවන්නා වන ලසිත් මාලිංග සහ උප නායක ඇන්ජලෝ මැතිව්ස්‌ දෙදෙනා ආබාධවලට ගොදුරු වීමෙන් පසු තවමත් සියයට සියයක්‌ සුවය නොලබා තිබීම අද තරගයේදී ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කණස්‌සල්ලට පත් කරනු ලබන ප්‍රධාන කරුණු අතරට එක්‌වනු ඇත. අනෙක්‌ තුන් ඉරියව් ක්‍රීඩකයා තිසර පෙරේරාගේ තත්ත්වයද තවමත් එතරම් සුව අතට පත්වී නොමැති බව බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග වල සඳහන් වේ.

සිය උරහිසේ ආබාධය උත්සන්න අතට පත්වීම මත මෙම තරගාවලියට ඉන්දීය ප්‍රහාරාත්මක පිතිකරු විඡේන්ද්‍ර ෂෙවාග් සහභාගි නොවනු ඇත. එහෙත් නැවතත් යුසුප් පතන් කණ්‌ඩායමට එක්‌ව සිටීම මත ඉන්දීය පිතිකරු බල ඇණිය තවත් ශක්‌තිමත් කරනු ඇත. ලෝක කුසලාන තරගාවලියේ සිටම සිය ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග දිවියේ සියවැනි ශතකය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන සචින් ටෙන්ඩුල්කාර්ද මෙම තරගාවලියේදී සිය අභිප්‍රාය කෙසේ හෝ සාක්‌ෂාත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. එමෙන්ම විරාත් කෝලිද සිය සුපුරුදු රිද්මය දිගින් දිගටම පවත්වාගෙන යැමට සමත්වීම මත මෙම තරගය පිළිබඳව ශ්‍රී ලංකා පිලට කිසි විටෙකින් වත් සුළුවෙන් තැකිය නොහැක.

1 comment:

  1. දැන් ඔය ලෙඩ තියෙන හැමෝම අයි.පී. එල්. එකටත් සහභාගී නොවී ඉඳියි ද දන්නෑ නේ.....

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්