Friday, March 16, 2012

කාන්දම් ප්‍රතිකාරක සවි කිරීමෙන් ඇත්තට ම ඉන්ධන ඉතිරියක්‌ වනවා ද?


චුම්බක නැත්නම් කාන්දම්වලින් කළ හැකි අපූර්ව ක්‍රියාකාරකම් ගැන කෙනකුට දැනගන්නට ලැබෙන්නේ, කුඩා වියේ දී ම ය. කඩදාසියකට යටින් තැබූ කාන්දමක්‌ (චුම්බක) භාවිත කරමින් ඇණයක්‌, කටුවක්‌ වැනි දෙයක්‌ එහා මෙහා ඇදගෙන යැම, රූකඩ නැටවීම වැනි දේ කළ හැටි ඇතැම් විට ඔබට මතක තිබෙන්නට පුළුවන.

එහෙත්, එදා ඒ කළ පොඩි පොඩි සෙල්ලම්වලින් ඔබ්බට ගොස්‌ අද ලොකු ලොකු සෙල්ලම් කළ හැකි චුම්බක ගැන අසන්නට ලැබේ.


රෝග සුව කරන, විශේෂයෙන් ම රුධිර රෝග හා චර්ම රෝග සුව කරන චුම්බක ගැන අසන්නට ලැබේ. එසේ ම, වේදනා සමනය කරන, හිතන පතන දේ ඉටු කර දෙන, ශාක වර්ධනයට උදව් දෙන, ජලය මෘදු කරන, දත් දිරා යැම වළක්‌වන, කොන්ක්‍රීට්‌වල ශක්‌තිය ඉහළ නංවන චුම්බක පවතින බව කියෑවේ. ඉන්ධන පිරිමැසීම සිදු කරන චුම්බක පිළිබඳ කතාව ද මෙවැන්නකි. ශ්‍රී ලංකාව තුළ ද ඉන්ධන ඉතිරි කර ගැනීමට අදාළ කාන්දම් ප්‍රතිකාරය (Fuel Saving Magnetic Treatment) ගැන උනන්දුවක්‌ වර්ධනය වෙමින් පවතී. මෙහි එක්‌ කොටසක්‌ වන්නේ LP ගෑස්‌ යොදා ගනිමින් මෝටර් රථ ධාවනය කරන උපකරණ කට්‌ටල ස`දහා මේ චුම්බක ප්‍රතිකාර සාර්ථක බවට පවතින ප්‍රචාරයයි.


සමහර චුම්බක ප්‍රතිකාරක ක්‍රමවේද/පද්ධති අලෙවි කරන අයට අනුව දැන් පවතින ඉන්ධන පිරිමසින හොඳ ම ක්‍රමය චුම්බක ප්‍රතිකාරයයි. මේ අලෙවිකරුවෝ තම ක්‍රමවේද අලෙවිය සඳහා මහා පරිමාණ ප්‍රචාරණ ක්‍රම ද භාවිත කරති. රූපවාහිනි, පුවත්පත් දැන්වීම් මෙන් ම වෙබ් අඩවි ද මේ සඳහා යොදා ගැනේ. මේ අලෙවි කිරීම් බහුල ව සිදු කෙරෙනුයේ අන්තර්ජාලය හරහා බව ද පෙනී යයි. ප්‍රධාන පෙළේ වෙළෙඳසල් හරහා මේවා අලෙවි කෙරෙන අවස්‌ථා විරල අතර බොහෝ දුරට අලෙවිය සිදු කෙරෙනුයේ කුඩා පරිමාණ ව්‍යාපාරික මට්‌ටමිනි.


ඉන්ධන ඉතිරිය සඳහා අදාළ චුම්බක ප්‍රතිකාර ක්‍රමයේ දී සිදු කෙරෙනුයේ එන්ජිමේ ඉන්ධන නළය (ගෑස්‌ ටැංකිය හා කාර්බියුරේටරය අතර) වටා චුම්බකයක්‌ සවි කිරීමයි.


මේ ක්‍රියාවලිය මඟින් ලැබෙන ප්‍රතිලාභ විශාල ගණනක්‌ ඇති බව අලෙවිකරුවෝ පවසති. අහිතකර වායු විමෝචනය නවතා ලීම, පූර්ණ දහනය සිදු කිරීම, එන්ජිමේ බලය වැඩි දියුණු කිරීම, එන්ජිමේ කොටස්‌වල ගෙවීම අඩු කිරීම, සියයට විස්‌සක්‌ දක්‌වා ඉන්ධන ඉතිරි කර දීම ආදිය ඉන් සමහරකි. වාහන සඳහා වූ මේ ඉන්ධන ප්‍රතිකාර ක්‍රමය සඳහා අය කෙරෙන ගාස්‌තු ඩොලර් 50 සිට 300 දක්‌වා විහිදේ.


මේ අලෙවිකරුවන් මේ උපකරණ/ක්‍රමවේද ගැන ඉහළින් ම වර්ණනා කරතත් ඇත්තෙන් ම මේවා සාර්ථක බව පෙන්වන්නට විද්‍යාත්මක සාධක නැත. තිබුණොත් තිබෙන්නේ, හිතාමතා ම සැකසූ ව්‍යාජ පරික්‌ෂණ ය. කෙසේ වෙතත් මේවා අලෙවියෙහි නිරත වන්නෝ, අලෙවිකරණයේ දක්‌ෂයෝ වෙති. මොනවා හරි කියා මේවා පාරිභෝගිකයා ගේ ඇෙ`ග් ගසන්නට ඔවුනට පුළුවන. විද්‍යාත්මක පරීක්‌ෂණ ගැන කියා ගන්නට බැරි වූ විට ඔවුහු මේ උපකරණ භාවිත කරන සමාගම්වල, රජයට යම් සම්බන්ධයක්‌ ඇති ආයතනවල (නගර සභාවන් වැනි) නම් ලැයිස්‌තු ඉදිරිපත් කරති. එසේ ම, මේ අය විද්‍යාත්මක යෑයි බැලූ බැල්මට හිතෙන පැහැදිලි කිරීම් ද ඉදිරිපත් කරති. එහෙත් එය ඇත්තෙන් ම වචන හරඹයක්‌ පමණි. විශාල විද්‍යා ඥානයක්‌ නොමැති කෙනකුට හිතෙන්නේ අලෙවිකරු ගේ පැහැදිලි කිරීම නිවැරැදි බව ය. ඔවුන් කරන තවත් කපටිකමක්‌ ඇත. එය නම් පාරිභෝගිකයාට දෙන පොරොන්දු වරින් වර වෙනස්‌ කිරීමයි. මේ උපකරණය භාවිත කරන කෙනකුට එය ඉන්ධන ඉතිරි නො කරන බව එනම් ලීටරයට විශාල දුරක්‌ නො යන බව පෙනී ගොස්‌ ඒ ගැන පැමිණිලි කළ විට මේ අලෙවිකරුවෝ අපූරු උත්තර දෙති.


"වාහනය දුවන සැතපුම් ගණන වැඩි නො වේ නම්, අශ්වබලය හෝ වැඩි වෙයි." ඒ ඔවුන් ගේ අපූරු පැහැදිලි කිරීමකි. සමහර විට ඔවුන් කියන්නේ මේ ප්‍රතිඵල පෙනෙන්නට ටිකක්‌ කල් යන බව ය. බොහෝ විට පාරිභෝගිකයාට ලැබෙන මේ වාසිය හඳුනාගන්නටත් බැරි තරම් සුළු එකකි. මේ අන්දමට අලෙවිකරුට ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඔහු දෙන උත්තර මත


රැඳෙනවා මිස ක්‍රමවේදය සැබැවින් ම ක්‍රියාත්මක වනවා ද කියා දැනගන්නට වත් පාරිභෝගිකයාට අවකාශ නො ලැබේ. සමහර විට වාහනය විකුණන හෝ කැඩෙන තුරු ම මේ කාන්දම් බලය ගැන හරි අවබෝධයක්‌ ලබාගන්නට පාරිභෝගිකයාට නො හැකි වනු ඇත.


අලෙවිකරුවෝ මේ මොන ම හේතු දැක්‌වීමකින් වත් ගැලවෙන්නට බැරි වූ විට අපූරු ම කතාවක්‌ කියති. එනම් වාහන නිෂ්පාදකයන් හා තෙල් සමාගම් මේ ක්‍රමවේදයට එරෙහි ව කුමන්ත්‍රණ මෙහෙයවන බවත් මේ ක්‍රමවේදය විවේචනය කරමින්, පල රහිත බව කියමින් පළ වන ලිපි එහි ප්‍රතිඵල බවත් ය.


ඉන්ධන පිරිමසින චුම්බක අලෙවිකරුවන් ගේ ඊනියා පැහැදිලි කිරීම් තුළ පවතින එක්‌ ප්‍රකාශයක්‌ වන්නේ "මේ ක්‍රමවේදය ම`ගින් ඉන්ධන අණු එකෙලි (align = එක්‌ පිළිවෙළකට සැකසීම) කරන බවයි. මෙය පිළිගත නො හැකි ය. අපි මොහොතකට චුම්බක නිසා ඉන්ධන අණු එසේ align වනවා ම යෑයි සිතමු. එහෙත් මේ align වීම වනවා නම් වන්නේ චුම්බකය හරහා යන අවස්‌ථාවේ දී පමණි. එනම් ඇන්ජිමට ඇතු`ඵ වන අවස්‌ථාවේ දී අංශූ යළි සාමාන්‍ය තත්ත්වයට පත් වේ.


අනෙක්‌ අතට මේ එකෙලි වීම (align) පිළිවෙළකට පැමිණීම නිශ්චිත ලෙස සිදු වනවා යන්නට පිළිගත හැකි සාක්‌ෂි නැත. එය හුදු උපකල්පනයක්‌ පමණි. (මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කර ගැනීමට අවශ්‍ය අයකුට ලොව පිළිගත් ආයතනයක්‌ වන ඇමෙරිකානු පරිසර ආරක්‌ෂණ නියෝජිතායතනයේ (EPA) වෙබ් අඩවියෙන් සෑහීමකට පත් විය හැකි තොරතුරු ප්‍රමාණයක්‌ ලබාගත හැකි ය. එම ආයතනය විවිධ වෙළෙඳ නාම යටතේ ඉදිරිපත් ව තිබෙන මෙවැනි උපකරණ එක සිය ගණනක්‌ විද්‍යානුකුල පරීක්‌ෂාවන්ට ලක්‌ කර ඇති අතර කියන ආකාරයේ ප්‍රතිඵලයක්‌ එයින් නො ලැබෙන බව පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.


ඉහත විස්‌තර කළ ආකාරයට චුම්බක හරහා ඉන්ධන අණු රටාවකට ගමන් ගැනීමෙන් ඉන්ධන දහනය කාර්යක්‌ෂ්ම කෙරෙනවා ය යන්න චුම්බක ප්‍රතිකාරක අලෙවිකරුවන් ගේ පැහැදිලි කිරීමයි.


තවත් විටක ඔවුන් පෙන්වා දෙන්නේ චුම්බක බලය හේතුවෙන් ඉන්ධනයේ දිගු දාම අණු, කෙටි දාම අණු බවට පත් වන බවයි. පෙට්‍රල් හා ඩීසල් සතු විවිධ අණු ඇති අතර ඒවා ඔක්‌ටේන් වැනි දිගු අණු ද, බියුටේන් වැනි කෙටි අණු ද විය හැකි ය.


කෙසේ වෙතත් දිගු අණු කෙටි අණු බවට පත් වීමෙන් ඉන්ධන ඉතිරියක්‌ හෝ වෙන වාසියක්‌ සිදු නො වේ. කෙටි දාම අණු දහනයේ දී වැඩිපුර ශක්‌තියක්‌ ලබා නො දෙන නිසා දිගු දාම කෙටි දාම බවට පරිවර්තනය වීමෙන් ලැබෙන වාසියක්‌ නැත.


තව ද බොහෝ හයිෙඩ්‍රාකාබන ඉන්ධනවල කැලොරික අගයන් 44-46 MJ/kg පරාසයේ පවතින බැවින් අණුවේ වෙනස නිසා නිකුත් වන ශක්‌ති වෙනස එතරම් ලොකු වෙනසක්‌ නො වේ. එනිසා කුඩා අණු හො`දින් දැවේ හෝ කුඩා අණු ලොකු ශක්‌තීන් නිදහස්‌ කරයි යන ප්‍රකාශ සාධාරණය නො වේ.


ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක වූ මෙවැනි ප්‍රකට චුම්බක ප්‍රතිකාර ක්‍රම අලෙවි කරන සමාගම්වලට එරට ෙµඩරල් වෙළෝද කොමිසම මගින් නඩු පවරා තිබේ. ඒවායේ අලෙවි බලපත්, ප්‍රචාරක කටයුතු තහනම් කරන්නට දැනුම් දී තිබේ. එසේ ම මෙවැනි එක්‌ සමාගමකට ව්‍යාජ තොරතුරු ලබා දීමේ හේතුවෙන් ඩොලර් මිලියන 4.2ක දඩයක්‌ ගෙවන්නට ද සිදු විය.


කෙසේ වෙතත් ලොව පුරා ක්‍රියාත්මක වන අනෙක්‌ චුම්බක ප්‍රතිකාරක වෙළෙන්දන් මෙයින් පසුබෑමට පත් ව ඇති බවක්‌ නො පෙනේ. ඔවුහු විටින් විට මොනවා හෝ කතාවක්‌ ගොතාගෙන ඉදිරියට පැමිණෙති.


ළ`ග දී සිට මේ අය කියන කතාවක්‌ වන්නේ දෙවැනි ලෝක යුද්ධයේ දී රාජකීය ගුවන් හමුදාවේ යානාවලටත් ඉන්ධන ඉතිරියට උදව් කළේ චුම්බක ප්‍රතිකාර ක්‍රමය බවයි. මේ ස`දහා විවිධ සෙබ`ඵන් ගේ හා යානාවල පිංතූර ඔවුහු භාවිත කරති.


මේ වෙළෙන්දන් වැඩිපුර ක්‍රියාත්මක වන්නේ අන්තර්ජාලය තුළ බව සැබෑවක්‌ වුවත් හෙට ඔවුන් මේ ප්‍රතිකාර ක්‍රමයේ තොරතුරු පත්‍රිකා රැගෙන ඔබ ගේ නිවස හෝ කාර්යාලය අබියස රැදී සිටින්නට ඉඩ නැතුවා නො වේ. 

 මනෝඡ් රත්නායකගේ විදුසර පුවත්පතේ ලිපියක්

2 comments:

  1. අර nano technology, Far infra red (FIr) කියලා ලංකාවෙ ඉහලම මොටර්‍රථ ඉංජිනෙරුවා (කියා ගන්නා) පවා උඩ දමගෙන ප්‍රොමොට් කරපු රබර් බට කැල්ලත් ඉතින් ඔච්චර තමයි.

    ReplyDelete
  2. You cannot save any thing with this. If its true why the hell vehicle manufacturers do not fix this unit (which is nothing, compared to the cost of the vehicle) in the factory itself. Do not get caught to these traps.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්