Sunday, March 25, 2012

සුදුසුකම් ඇති විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කැපිල්ලක්‌!

නියම සුදුස්‌සන් විදුහල්පති තනතුරුවලට පත් කිරීම වැළැක්‌වීමේ උත්සාහයක අධ්‍යාපන අමාත්‍යාංශය නිරතව සිටින බවට අමාත්‍යාංශයේම නිලධාරීහු චෝදනා කරති. ජාතික පාසල් අසූවක්‌ සඳහා සම්මුඛ පරීක්‍ෂණවලින් මීට මාසයකට පමණ පෙර තෝරාගත් සුදුස්‌සන් අතරින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට මෙතෙක්‌ යවා ඇත්තේ පස්‌දෙනකුගේ තොරතුරු පමණි. එම පස්‌දෙනා අතරින් තිදෙනකු කුරුණෑගල මලියදේව බාලිකා, මලියදේව පිරිමි සහ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා යන පාසල්වල විදුහල්පති තනතුරුවලට පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත. මෙහි විශේෂත්වය වන්නේ සම්මුඛ පරීක්‍ෂණවලින් සුදුසුකම් ඇති විදුහල්පතිනියක තෝරාගෙන සිටියදීත් මලියදේව බාලිකාවේ විදුහල්පති ධූරයේ රාජකාරි ආවරණය සඳහා අමාත්‍යාංශය අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ තැනැත්තියක පත්කිරීමයි. එහි විදුහල්පති ධුරය සඳහා සම්මුඛ පරීක්‍ෂණයෙන් තෝරාගත් අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන මහව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා සෝමා රත්නායක මහත්මිය හෙට (26 වැනිදා) සිට එම ධුරයට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පත්කර තිබේ. මේ අතර අමාත්‍යාංශය විසින් එහි වැඩ බැලීම සඳහා පත්කරන ලද අඩු සුදුසුකම් සහිත තැනැත්තිය තවදුරටත් එම ධුරයේ තබාගැනීම අවශ්‍ය බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පෙත්සමක්‌ ලැබී ඇත.

මේ අතර කොළඹ සිරිමාවෝ බණ්‌ඩාරනායක විදුහලේ විදුහල්පති ධුරයේ වැඩ බැලීම සඳහා ද අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවැනි ශ්‍රේණියේ නිලධාරියකු අමාත්‍යාංශය විසින් පත් කරනු ලැබ තිබේ. අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක එහි විදුහල්පති ධුරය සඳහා පත් කළ යුතුය.

අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පති තනතුරක්‌ වන ගම්පහ බණ්‌ඩාරනායක ජාතික පාසල සඳහා ද මේ වන විට පත් කර සිටින්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි.

අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරුන් සිටිය යුතු පාසල්වලට විදුහල්පති සේවයේ විදුහල්පතිවරුන්ට ද අයෑදුම් කළ හැකි වන පරිදි අවශ්‍ය වෙනස්‌කම් සිදු කිරීම සඳහා අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා කැබිනට්‌ මණ්‌ඩලයෙන් ඉල්ලා ඇත්තේද මෙවන් තත්ත්වයක්‌ යටතේය. එමෙන්ම අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පති තනතුර සඳහා එම සේවයේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවට අමතරව විශේෂ සේවක සංඛ්‍යාව යටතේ ඇතුළත් වී සිටින්නන්ටද අවස්‌ථාව හිමි විය යුතු බවද ඇමැතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයට දැනුම්දී තිබේ. විශේෂ සේවක සංඛ්‍යාව යටතේ අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුළත් වන නිලධාරීන් සාමාන්‍ය සේවක සංඛ්‍යාවට එක්‌වන්නේ දසවසරකට අධික කාලයකින් පසුවය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්