Friday, March 23, 2012

හිමිවරුන් ඝාතනය මුදල් කොල්ලකෑමට

කොල්ලකෑම සැලසුම් කළැයි සැකකරන පුද්ගලයා

කෝට්‌ටේ රජමහා විහාරයට කඩාවැදී එහි වැඩවිසූ භික්‍ෂූන් වහන්සේලා දෙනමක්‌ ඉතාම කෲර අන්දමින් කපා කොටා මරාදැමූ ඝාතකයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සැඟවී සිටියදී විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් ඊයේ (22 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක්‌වූ බොරලැස්‌ගමුවේ ගුණරතන හිමියන් සතුව තිබූ රුපියල් ලක්‍ෂ 5 ක මුදලක්‌ මෙම සැකකරුවන් විසින් කොල්ලකෑමට උත්සාහ කිරීමේදී මෙම සිද්ධිය වූ බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම ද්විත්ව ඝාතනයේ මහ මොළකරු ලෙස සැලකෙන ගල්ගමුව ප්‍රදේශයේ විහාරස්‌ථානයක බස්‌නායක නිලමේවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත භික්‍ෂූන් වහන්සේලා දෙනම මරාදැමූ ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

භික්‌ෂූන් වහන්සේලා දෙනම මරාදැමූ ඝාතකයා 21 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. මීට වසර 5 කට 6 කට උඩදී මොහු චීවරධාරියකු ලෙස වැලිගම ප්‍රදේශයේ විහාරස්‌ථානයක සිටි අයෙකි.

වසර 3 ක පමණ කාලයක්‌ චීවරධාරියකු ලෙස සිටි මොහු පසුව සිවුරු හැර මහරගම ප්‍රදේශයට පැමිණ ඇත. මහරගම ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පළක සිටිමින් මොහු සුළු රැකියාවක්‌ කරගෙන ගියේය.

මෙම ඝාතනයේ මහ මොළකරු වන බස්‌නායක නිලමේවරයා මොහුට හමුවී ඇත්තේ මහරගමදීය. බස්‌නායක නිලමේවරයාගේ නිවස පිහිටා තිබී ඇත්තේ මෙම 21 හැවිරිදි තරුණයා තාවකාලිකව නවාතැන්ගෙන සිටි නිවස අසලය.

පසුකලකදී මොවුන් දෙදෙනා දැඩි මිත්‍රයන් වී ඇත. සුළු

රැකියාවක්‌ කරන අතර 21 හැවිරිදි තරුණයා සුළු හොරකම් ද කරන්නට පටන්ගෙන තිබේ.

ගල්ගමුව ප්‍රදේශයේ විහාරස්‌ථානයක විෂ්ණු දේවාලයේ බස්‌නායක නිලමේවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන සැකකරු ද 26 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි.

බස්‌නායක නිලමේවරයා ඝාතනයට ලක්‌වූ බොරලැස්‌ගමුවේ ගුණරත්න හිමියන් ඉතාම සමීපව ඇසුරු කළේය. නිතරම සිය මෝටර් රථයෙන් රජමහා විහාරයට පැමිණීමට පුරුදුව සිටි මොහු ගුණරතන හිමියන්ගේ ලැගුම් කුටියට වී පැය ගණනක්‌ කතාබස්‌ කරමින් සිටීමද පුරුද්දක්‌ ලෙස කරගෙන ගියේය.

ගුණරතන හිමියන්ගේ අසනීප සඳහා බෙහෙත් ලබාගැනීම සඳහා යන්නේද බස්‌නායක නිලමේවරයාගේ මෝටර් රථයෙන්ය.

තමන් සතුව ඉතිරිකරගත් විශාල මුදලක්‌ තිබෙන බව ගුණරතන හිමියන් අවස්‌ථා කීපයකදීම බස්‌නායක නිලමේවරයාට පවසා ඇත. ගුණරතන හිමියන්ගේ කාමරයේ රුපියල් ලක්‍ෂ 5 ක ට ආසන්න මුදලක්‌ තිබෙන බවද මොහු දැක තිබිණි.

ගුණරතන හිමියන් සතු මුදල් කොල්ලකෑමට බස්‌නායක නිලමේවරයා සැලසුම් කර ඇත්තේ ඉන්පසුවය. ඒ සඳහා සිය නිවස අසල පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයාගේ සහාය ලබාගැනීමටද මොහු සැලසුම් කළේය.

සුළු සොරකම් සම්බන්ධයෙන් මහරගම පොලිසිය මෙම 21 හැවිරිදි තරුණයා පසුපස පන්නමින් සිටි නිසා ඔහු ඒ වන විට මහරගම කුලී නිවස අතහැර තණමල්විල ප්‍රදේශයට ගොස්‌ සිටියේය.

සැකකාර බස්‌නායක නිලමේවරයා තරුණයාට දුරකථන ඇමතුමක්‌දී වහාම තමන් හමුවීමට එන ලෙස පවසා ඇත. ඒ අනුව මීට දින කීපයකට උඩදී 21 හැවිරිදි තරුණයා මහරගමට පැමිණ බස්‌නායක නිලමේවරයා මුණගැසුණේය.

පසුව ඔවුන් දෙදෙනා ගුණරතන හිමියන් සතු මුදල් කොල්ලකෑමට සැලසුම් කළහ. මේ අතර රජමහා විහාරයේ රනින් නිම කළ අසිපතක්‌ ද තිබෙන බවත් එයද සොරා ගැනීමට සැලසුමක්‌ සකස්‌ කළ යුතු බවත් බස්‌නායක නිලමේවරයා මෙම තරුණයාට පවසා ඇත.

අසිපත සොරාගැනීම පසුවට තබා ගුණරතන හිමියන් සතු මුදල් මුලින්ම කොල්ලකෑමට මොවුහු සැලසුම් කළහ.

ඒ අනුව ඉකුත් 20 වැනිදා දහවල් බස්‌නායක නිලමේවරයා ගල්කිස්‌ස ප්‍රදේශයේ හෝටලයකට ගොස්‌ මිතුරකුද සමග මත්පැන් පානය කරමින් සිටියේය. පසුව මොහු 21 හැවිරිදි තරුණයාට ද දුරකථන ඇමතුමක්‌ ලබාදී ඔහුවද ගෙන්වාගෙන ඇත.

එහිදී ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක සමග හිතවත් වූ මොවුන් දෙදෙනා ඇයද රැගෙන වෙනත් හෝටලයකට ගොස්‌ තිබේ.

පසුව අතරමගදී ද බස්‌නායක නිලමේවරයා සහ තරුණයා බියර් පානය කර තිබේ. තමා ගුණරත්න හිමියන් සමග විහාරස්‌ථානයේ වෙනත් ස්‌ථානයක කතාකරමින් සිටියදී හොර රහසේම එම හිමියන්ගේ කාමරයට ගොස්‌ මුදල් සොරාගන්නා ලෙස නිලමේවරයා 21 හැවිරිදි තරුණයාට එහිදී උපදෙස්‌ දුන්නේය.

එහිදී තරුණයා පවසා ඇත්තේ ඒ සඳහා තමන්ට කිසියම් ආයුධයක්‌ අවශ්‍ය බවයි. පසුව මොවුන් දෙදෙනා අතුරුගිරිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට ගොස්‌ පිහියක්‌ ද මිලදී ගෙන තිබේ.

එදින රාත්‍රි 9.30 ට පමණ මොවුන් දෙදෙනා කෝට්‌ටේ රජමහා විහාරයට පැමිණ ඇත. බස්‌නායක නිලමේවරයා ගුණරතන හිමියන් හමුවී උන්වහන්සේ සමග ආවාසගෙයි පහළ මාලයේ කතාබස්‌ කරමින් සිටියේය. ඒ අතර 21 හැවිරිදි තරුණයා ගුණරතන හිමියන් ලැගුම්ගෙන සිටි කාමරය සොයා ඉහළ මාලයට ගොස්‌ තිබේ. ඉහළ මාලයේ කාමර 5 ක්‌ තිබූ අතර ඉන් එක්‌ කාමරයක්‌ හැරෙන්නට අනෙක්‌ කාමර සියල්ල අගුලු දමා වසා තිබී ඇත.

ගුණරතන හිමියන් නවාතැන් ගන්නා කාමරය පිහිටි ස්‌ථානය පිළිබඳව බස්‌නායක නිලමේවරයා ඊට පෙර 21 හැවිරිදි තරුණයාට කොළයක ඇඳ පෙන්වා තිබිණි. ඒ අනුව තරුණයා ගුණරතන හිමියන්ගේ කාමරය සොයා ගත්තද එය වසා දමා තිබී ඇත.

ඒ වනවිට ගුණරතන හිමියන් සහ බස්‌නායක නිලමේවරයා ලැගුම්ගෙයි ඉහළ මාලය වෙත පැමිණ තිබේ. කලබලයට පත්වූ තරුණයා ඉහළ මාලයේ පිහිටි නාන කාමරයේ සැඟවී ඇත.

ඒ අවස්‌ථාවේ පිටිගල ජිනසිරි හිමියෝ දත් මදිමින් නානා කාමරය වෙත ඇතුළු වූහ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ තරුණයා පිටිගල ජිනසිරි හිමියන්ගේ ගෙල කපා ඝාතනය කළේය. ඒ සැණින් තරුණයා නාන කාමරයෙන් පිටතට පැන තිබේ. නාන කාමරය දෙසින් ඇසුණු ශබ්දය පිළිබඳව බැලීමට ගුණරතන හිමියන් ඒ දෙසට පැමිණ ඇත්තේ ඒ අවස්‌ථාවේදීය.

ඒ වන විට තරුණයා ලේ තැවරුණු පිහියක්‌ ද අතැතිව නාන කාමරය ඉදිරිපිට සිටියේය. ඒ දුටු ගුණරතන හිමියන් තරුණයා අල්ලා ගැනීමට උත්සාහ කර තිබේ. එහිදී බස්‌නායක නිලමේවරයා ගුණරතන හිමියන් සිය ග්‍රහණයට ගෙන ඇති අතර 21 හැවිරිදි තරුණයා එම හිමියන්ගේ උදරය ප්‍රදේශය පිහියෙන් කපා දමා ඇත.

පසුව ලැගුම්ගෙයි පහළ මාලය වෙත දිව ආ ඝාතකයන් දෙදෙනා විහාර භූමියේ දෙපසට දිවගොස්‌ තිබේ. 21 හැවිරිදි තරුණයා විහාරයේ පිටුපස දොරටුවෙන් පිටවූ අතර බස්‌නායක නිලමේවරයා සිය මෝටර් රථයේ නැගී විහාරස්‌ථානය ඉදිරිපස දොරටුවෙන් පිටව ගොස්‌ තිබේ.

නාඳුනන පුද්ගලයකු කලබලයෙන් පැමිණ මෝටර් රථයක නැගී යනු දුටු විහාරයේ සිටි තරුණයකු එම රථයේ අංකය වැලි මළුවේ සටහන් කරගත්තේය.

අතරමගදී බස්‌නායක නිලමේවරයා 21 හැවිරිදි තරුණයාගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ දී ඔහුව සිය මෝටර් රථය වෙත ගෙන්වාගෙන ඇත. පසුව ඔහු තරුණයා නවාතැන් ගෙන සිටි බොරලැස්‌ගමුව ප්‍රදේශයේ කොන්ක්‍රීට්‌ වැඩපළ වෙත ගොස්‌ ඔහු ඇරලවා පසුව මහරගම නිවසට ගොස්‌ තිබේ.

මෙම ද්විත්ව ඝාතනයෙන් පසු පරීක්‍ෂණ ආරම්භ කළ පොලිසිය තරුණයා වැලිමළුවේ සටහන් කළ මෝටර් රථයේ අංකය හිමිකරුවා සොයා ගත්තේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, පොලිස්‌ අධිකාරි සාලිය සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ සිදුකළ මහරගම පොලිස්‌ ස්‌ථානාධිපති අනුරාධ මහින්දසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින් මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි බස්‌නායක නිලමේවරයාගේ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

ඒවනවිට බස්‌නායක නිලමේවරයා අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටින සිය පෙම්වතියගේ නිවසට පලා යැමට සූදානමින් සිටියේය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සිද්ධියට සම්බන්ධ අනෙක්‌ තරුණයා පිළිබඳවද තොරතුරු හෙළිකර ගැනීමට පොලිසියට හැකි විය.

ඒ අනුව බස්‌නායක නිලමේවරයා රැගෙන ගිය විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී ඉතාම සූක්‍ෂමව කළ වැටලීමකදී 21 හැවිරිදි තරුණයාද අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ඝාතනයට ලක්‌වූ ගුණරතන හිමියන්ගේ ලැගුම් කුටිය පොලිසිය විසින් ඊයේ විවෘත කර පරීක්‍ෂා කරද්දී එහි තිබී රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදලක්‌ සහ බැංකු පොත් කීපයක්‌ සොයාගැනීමට හැකි විය. සැකකරුවන්ට ගුණරතන හිමියන් සතු මුදල් කිසිවක්‌ සොරා ගැනීමට අවස්‌ථාවක්‌ ලැබී නැත.

මේ අතර මෙම සැකකරුවන් දෙදෙනා භික්‍ෂූන් වහන්සේ දෙනම ඝාතනයට යොදාගත් පිsහිය කෝට්‌ටේ රජමහා විහාරය ආසන්නයේ කාණුවක සඟවා තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබේ.

මෙම ද්විත්ව ඝාතනය සිදුවී පැය දෙකක්‌ ගතවීමට පෙර ඊට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ විහාරයේ සිටි තරුණයා ලබාදුන් මෝටර් රථයේ අංකය ඔස්‌සේ කළ පරීක්‍ෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා කියා සිටියි.

එමෙන්ම පොලිස්‌ නිලධාරීන් ඉතාම දක්‍ෂ ලෙස කාර්යශූර ලෙසත් කටයුතු කිරීම නිසා මෙම මහා අපරාධයේ සියලු තොරතුරු අනාවරණය කරගෙන ඊට සම්බන්ධ සැකකරුවන් සියලුදෙනා පැය 24 ක්‌ ගතවීමට පෙර අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කියා සිටියේය.

පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් කෙරුණු පරීක්‍ෂණ කටයුතු පිළිබඳව විශේෂ උපදෙස්‌ ලබාදුන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා ඒ පිළිබඳව පුළුල් ලෙස විමර්ශන පවත්වන ලදී.

බස්‌නාහිර දකුණු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති අයි. එම්. කරුණාරත්න, පොලිස්‌ අධිකාරි සාලිය සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මහරගම, වැලිකඩ, බොරලැස්‌ගමුව පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් වන අනුරාධ මහින්දසිරි, ඒ. කමල්, නිශාන්ත ඇපලකොටුව ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

මේ අතර මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ජානක කුමාර, උප පොලිස්‌ පරීක්‍ෂක පෙරේරා, සැරයන්වරුන් වන ලක්‍ෂමන්, විපුල ඇතුළු නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කළහ.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්