Friday, February 24, 2012

බෙලිරිව් ක්‍රීඩාංගණය ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායමට අවාසිදායකයි


කොමන්වෙල්ත් කුසලාන ක්‍රිකට්‌ තරගාවලය යටතේ ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගිවනු ලබන හයවැනි එක්‌දින තරගය හෙවත් තරගාවලියේ 09 වැනි තරගය අද (24 දා) සත්කාරක ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම සමග හෝබාර්ට්‌හි බෙලිරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා/රාත්‍රී තරගයක්‌ වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 8.50 ට ආරම්භ වනු ඇත.

එක්‌දින ක්‍රිකට්‌ ලෝකයේ දෙවැනියට වැඩිම ලකුණු ලාභියා සහ
ඔස්‌ට්‍රේලියාවේ වැඩිම එක්‌දින ලකුණු ලාභියා බවට පත්ව සිටින හිටපු නායක රිකී පොන්ටින්ව ඉවත් කිරීමෙන් පසු ඔස්‌ට්‍රේලියානු පිල සහභාගිවන පළමු එක්‌දින තරගයද මෙය වේ.

තරගාවලිය ආරම්භයේදී පසුබැස සිටි ශ්‍රී ලංකා කණ්‌ඩායම අවසන් තරග දෙකෙහිදී යළිත් සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණ සිටීම මත මේ වන විට අවසන් මහ තරග ස්‌ථාන දෙක සඳහා තියුණු සටනක්‌ නිර්මාණය වී තිබේ.

අද තරගයට සහභාගි වන කණ්‌ඩායම් දෙකම අවසන් වරට ඉන්දියාවට එරෙහිව පහසු ජයග්‍රහණ වාර්තා කර තිබීම හේතුවෙන් අද තරගයේ ප්‍රථිඵලය ප්‍රසාද ලකුණු සටහෙන් ඉදිරියට පැමිණෙන්නේ කවුරුන්ද යන්න තීරණය කෙරෙනු ඇත. තරග 5 කට සහභාගි වී ඇති ඔස්‌ටේ්‍රලියානු පිල ජයග්‍රහණ 3 ක්‌ වාර්තා කරමින් ලකුණු 14 ක්‌ ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේද තරග 5 කට සහභාගි වී තරග 2 ක ජය ලබා ප්‍රසාද ලකුණු 11 ක්‌ ලබා සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම එම දෙවැනි ස්‌ථානයේ සිට අද තරගයට අවතීර්ණ වනු ඇත.

ආබාධයක්‌ හේතුවෙන් පළමු තරගවලට සහභාගි නොවූ ෂේන් වොට්‌සන් යළිත් ඔස්‌ටේ්‍රලියානු පිලට කැඳවා තිබෙන අතර එහිදී ඔහු සුපුරුදු ආරම්භක පිතිකරු ස්‌ථානයේ ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වේ. වොට්‌සන් නොමැතිවීම මත ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ මැතිව් වේඩ් මැද පෙළ පිතිකරුවකු ලෙසද අංක 3 පිතිකරු ස්‌ථානයේ ක්‍රීඩා කළ පොන්ටින්ගේ ස්‌ථානයේ නායක ක්‌ලාක්‌ ක්‍රීඩා කරනු ඇතැයි සඳහන් වේ. උප නායකයා ලෙස කණ්‌ඩායමට එක්‌වී සිටින වොට්‌සන් අද තරගයට සහභාගිවීම ඊයේ සවස්‌ වන තුරුත් ස්‌ථීර වී නොතිබීම විශේෂත්වයක්‌ විය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම තුරුම්පු බවට පත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනා වන මැතිව්ස්‌, තිසර සහ මහරූප් යන තිදෙනාම අද තරගයේදීත් පෙර තරගවල අයුරින්ම දක්‍ෂතා දැක්‌වුවහොත් තරගය පිළිබඳව ශ්‍රී ලංකාවට වැඩි බලාපොරොත්තු රඳවා ගත හැක.

අංක 3 පිතිකරු කුමාර් සංගක්‌කාරට බෙලිරිව් ඕවල් ක්‍රීඩා පිටිය ඉතා සුවිශේෂී එකකි. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ 2007 ටෙස්‌ට්‌ තරග සංචාරයේ හෝබාර්ට්‌හි පැවැති තරගයේදී ලකුණු 192 ක්‌ ලබාගැනීමට සංගක්‌කාර සමත්වූ අතර රූඩි කර්ස්‌ටන් විනිසුරුවරයාගේ දුර්වල විනිසුරු තීරණයක්‌ හමුවේ සිය ද්විත්ව ශතකය වාර්තා කිරීමේ අවස්‌ථාව සංගක්‌කාරගෙන් ගිලිහී ගියේය. සංගක්‌කාර මෙම තරගාවලිය යටතේ 26, 22, 31, 30 සහ 08 වශයෙන් දැවී ගිය අතර මෙම තරගයේදී යළිත් ලකුණු අතරට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

අද තරගය පැවැත්වෙන බෙලිරිව් ඕවල් පිටියේදී ශ්‍රී ලංකාව 1999 වසරේදී එකම එක්‌දින තරගයකට පමණක්‌ සහභාගිවී තිබෙන අතර එහිදී සත්කාරක
ඔස්‌ට්‍රේලියාව ශ්‍රී ලංකාවට පරාජය විය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙම තරගයේදී කිසිදු වෙනසක්‌ නොකර සහභාගිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

1 comment:

  1. හරි සෝක් අද මැච් එකක් තියෙනව කියල මේකෙන් දැනගත්තා..

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්